එක් සමයක ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවෙසෙති. එකල්හී ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ “ආයුෂ්මත් මහණෙනි” යි භික්ෂූන් ඇමතූහ. “ආයුෂ්මතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේ මෙය වදාළහ.
“ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුවක් ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමවන ලද්දේ ය, කළ යුත්ත කරන ලද්දේ ය, මේ සසුනෙහි මත්තෙහි කළ යුතු දෙයක් නැති බව දනිමි’යි යනුවෙන් අරහත්වය ප්‍රකාශ කරයි. එකල්හී තථාගතයන් වහන්සේ වේවා, ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත් හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙක් හෝ වේවා, අර භික්ෂුවගෙන් කරුණු විමසයි. ප්‍රශ්න කරයි. දහම් කථාව කරයි. තථාගතයන් වහන්සේ විසින් හෝ ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත් හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙකු විසින් හෝ කරුණු විමසන විට, ප්‍රශ්න අසන විට, දහම් කථාව කරන විට ඒ භික්ෂුවගේ ප්‍රකාශය හිස් බවට පත්වෙයි. ගුණ රහිත බවට පත්වෙයි. හානියට පත්වෙයි. කරදරයට පත්වෙයි. වෙනත් කරදරයකට හෝ පත්වෙයි.
තථාගතයන් වහන්සේ හෝ ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත් හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙක් හෝ මෙසේ ඒ භික්ෂුවගේ සිත තම සිතින් විග්රහ කොට මෙනෙහි කරයි.
මේ ආයුෂ්මතුන් කවර කරුණක් මත ද ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමවන ලද්දේ ය, කළ යුත්ත කරන ලද්දේ ය, මේ සසුනෙහි මත්තෙහි කළ යුතු දෙයක් නැති බව දනිමි’යි යනුවෙන් අරහත්වය ප්‍රකාශ කරන ලද්දේ?
තථාගතයන් වහන්සේ හෝ ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත්හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙක් හෝ මෙසේ ඒ භික්ෂුවගේ සිත තම සිතින් විග්රහ කොට දැන ගනියි.
‘මේ ආයුෂ්මත් තෙමේ අධිමානයන්ට පත් වූ කෙනෙකි. ඒ අධිමානය සත්‍යය යැයි සිතාගත් කෙනෙකි. නොලැබූ ඵලයන් ලැබුවෙමි යි සංඥාවක් ඇති කෙනෙකි. කළ යුතු දේ නොකළේ ම කරන ලද්දේ ය යැයි සංඥාවෙන් යුතු කෙනෙකි. සාක්ෂාත් නොකළ දෙය සාක්ෂාත් කරන ලද්දේ යැයි සංඥාවෙන් යුතු කෙනෙකි. ඒ අධිමානයෙන් ය ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමවන ලද්දේ ය, කළ යුත්ත කරන ලද්දේ ය, මේ සසුනෙහි මත්තෙහි කළ යුතු දෙයක් නැති බව දනිමි’යි යනුවෙන් අරහත්වය ප්‍රකාශ කරන්නේ.
තථාගතයන් වහන්සේ හෝ ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත්හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙක් හෝ මෙසේ ඒ භික්ෂුවගේ සිත තම සිතින් විග්රහ කොට මෙනෙහි කරයි.
‘මේ ආයුෂ්මතුන් කවර කරුණක් මත ද අධිමානයෙන් යුක්ත ව, අධිමානය සත්‍යය යැයි සිතා, නොලැබූ දෙය ලැබුවේ යැයි සිතා, නොකළ දේ කළේ යැයි සිතා, අනධිගතය අධිගතය යැයි සිතා, ඒ අධිමානයෙන් ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමවන ලද්දේ ය, කළ යුත්ත කරන ලද්දේ ය, මේ සසුනෙහි මත්තෙහි කළ යුතු දෙයක් නැති බව දනිමි’යි යනුවෙන් අරහත්වය ප්‍රකාශ කරන්නේ?
තථාගතයන් වහන්සේ හෝ ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත් හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙක් හෝ මෙසේ ඒ භික්ෂුවගේ සිත තම සිතින් විග්රහ කොට දැන ගනියි.
මේ ආයුෂ්මත් තෙමේ බහුශ්‍රැත කෙනෙකි. සුතධර, සුත සන්නිචය ඇති කෙනෙකි. යම් මේ ධර්මයන් මුල, මැද, අග කල්‍යාණ වෙත් ද, අර්ථ සහිත, ව්‍යංජන සහිත මුළුමනින් ම පිරිපුන් පිරිසිදු බඹසර පවසත් ද, එබඳු වූ ධර්මයන් පිළිබඳව බහුශ්‍රැත කෙනෙකි. ඇසූ ධර්මය දරා, වචනයෙන් පිරිවහා, මනසින් විමසා නුවණින් වටහාගත් කෙනෙකි. එනිසා ය මේ ආයුෂ්මතුන් අධිමානයෙන් යුක්ත ව, අධිමානය සත්‍යය යැයි සිතා, නොලැබූ දෙය ලැබුවේ යැයි සිතා, නොකළ දේ කළේ යැයි සිතා, අනධිගතය අධිගතය යැයි සිතා, ඒ අධිමානයෙන් ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමවන ලද්දේ ය, කළ යුත්ත කරන ලද්දේ ය, මේ සසුනෙහි මත්තෙහි කළ යුතු දෙයක් නැති බව දනිමි’යි යනුවෙන් අරහත්වය ප්‍රකාශ කරන්නේ.
තථාගතයන් වහන්සේ හෝ ධ්‍යාන ඇති සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ, පරසිත් දැනීමෙහි දක්ෂ වූ, අනුන්ගේ සිත් හි ඇති ස්වභාවය දැකීමට දක්ෂ වූ තථාගත ශ්‍රාවකයෙක් හෝ මෙසේ ඒ භික්ෂුවගේ සිත තම සිතින් විග්රහ කොට දැන ගනියි. ‘මේ ආයුෂ්මත් තෙමේ දැඩි ලෝභයෙන් යුතු කෙනෙකි. දැඩි ලෝභයට යට වූ සිතින් බහුල ව වාසය කරයි. මේ ලෝභයට යට වී සිටීම වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.’
මේ ආයුෂ්මත් තෙමේ කිපෙන කෙනෙකි. ද්වේෂයෙන් යට වූ සිතින් බහුල ව වාසය කරයි. මේ ද්වේෂයට යට වී සිටීම වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
මේ ආයුෂ්මත් තෙමේ ථීනමිද්ධය ඇති කෙනෙකි. ථීනමිද්ධයට යට වූ සිතින් බහුල ව වාසය කරයි. මේ ථීනමිද්ධයට යට වී සිටීම වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
මේ ආයුෂ්මත් තෙමේ විසිරුණු සිත් ඇති කෙනෙකි. උද්ධච්චයට යට වූ සිතින් බහුල ව වාසය කරයි. මේ උද්ධච්චයට යට වී සිටීම වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
මේ ආයුෂ්මත් තෙමේ සැකය තිබෙන කෙනෙකි. විචිකිච්ඡාවට යට වූ සිතින් බහුල ව වාසය කරයි. මේ විචිකිච්ඡාවට යට වී සිටීම වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
මේ ආයුෂ්මත් තෙමේ ආරාමික කටයුතු කෙරෙහි ඇළුණේ, ආරාමික කටයුත්තෙහි නියැලී වසන්නේ, ආරාමික කටයුත්තෙහි ම යෙදී සිටින කෙනෙකි. මේ කම්මාරාමතාව වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
මේ ආයුෂ්මත් තෙමේ බොහෝ කතා බහේ ඇළුණේ, කතා බහේ ම නියැලී වසන්නේ, කතා බහේ ම යෙදී සිටින කෙනෙකි. මේ භස්සාරාමතාව වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
මේ ආයුෂ්මත් තෙමේ නින්දෙහි ඇළුණේ, නින්දෙහි නියැලී වසන්නේ, නින්දෙහි ම යෙදී සිටින කෙනෙකි. මේ නිද්දාරාමතාව වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
මේ ආයුෂ්මත් තෙමේ පිරිස් සමඟ ඇළුණේ, පිරිස් සමඟ නියැලී වසන්නේ, පිරිස් සමඟ එකට ම යෙදී සිටින කෙනෙකි. මේ සංගණිකාරාමතාව වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
මේ ආයුෂ්මත් තෙමේ මුලා වූ සිහියෙන් යුතු කෙනෙකි. තවදුරටත් ධර්මයෙහි කරන්නට කටයුතු තිබෙද්දී ස්වල්ප මාත්‍ර වූ විශේෂ අධිගමයක් නිසා තම කටයුතු නිමා වූ බවට පැමිණියේ ය. මේ සුළු දෙයකින් සම්පූර්ණ වූ බව සිතා ගැනීම වනාහී තථාගතයන් වහන්සේ විසින් දෙසූ ධර්ම විනය තුළ පිරිහීම ඇති කරවන කරුණකි.
ආයුෂ්මත්නි, ඒ භික්ෂුව ඒකාන්තයෙන් ම මේ දස කරුණ ප්රහාණය නොකොට මේ ධර්ම විනයෙහි දියුණුවකට, අභිවෘද්ධියකට, විපුල බවකට පත්වන්නේ ය යන කරුණ නොදැක්ක හැකි දෙයකි. ආයුෂ්මත්නි, ඒ භික්ෂුව ඒකාන්තයෙන් ම මේ දස කරුණ ප්රහාණය කොට මේ ධර්ම විනයෙහි දියුණුවකට, අභිවෘද්ධියකට, විපුල බවකට පත්වන්නේ ය යන කරුණ පැහැදිලි ව පෙනෙන දෙයකි.
සාදු! සාදු!! සාදු!!!
අධිමාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M