අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.3.3. ඉට්ඨධම්ම සුත්තං

10.2.3.3. සිතට ප්‍රිය වූ දෙය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………..

මහණෙනි, සිතට ප්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණු දසයක් ඇත්තේ ය. ඒ කවර දසයක් ද යත්;

භෝග සම්පත් ඇති බව සිතට ප්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණෙකි. මනා පැහැ ඇති බව සිතට ප්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණකි. නීරෝග ඇති බව සිතට ප්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණකි. සීලය සිතට ප්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණකි. බඹසර වාසය සිතට ප්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණකි. කළණ මිතුරන් ඇති බව සිතට ප්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණකි. බහුශ්‍රැත බව සිතට ප්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණකි. ප්‍රඥාව සිතට ප්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණකි. ධර්මය සිතට ප්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණකි. ස්වර්ගය සිතට ප්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණකි.

මහණෙනි, මේ ධර්මයන් දසය සිතට ප්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණු ය.

මහණෙනි, මේ සිතට ප්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණු දසයට අනතුරු ඇතිවන කරුණු ද දසයකි.

අලස බව ත්, උත්සාහයෙන් නැගී නොසිටීම ත් භෝග සම්පත්තියට අනතුරකි. නොසැරසීම ත්, ආභරණ නැති බව ත් පැහැපත් බවට අනතුරකි. සෞඛ්‍යයට හිත වූ ක්‍රියාවෙන් තොර වීම නීරෝග බවට අනතුරකි. පාප මිත්‍රයන් ඇති බව සීලයට අනතුරකි. ඉන්ද්‍රිය අසංවරය බඹසරට අනතුරකි. වාද විවාද හටගැනීම මිතුරු බවට අනතුරකි. නිතර සජ්ඣායනා නොකිරීම බහුශ්‍රැත බවට අනතුරකි. මැනැවින් සවන් නොදීම ත්, නොදන්නා දේ නොවිමසීම ත් ප්‍රඥාවට අනතුරකි. භාවිතයෙහි නොයෙදීම ත්, නුවණින් මෙනෙහි නොකිරීම ත් ධර්මයන්ට අනතුරකි. මිථ්‍යා ප්‍රතිපදාව ස්වර්ගයන්ට අනතුරකි.

මහණෙනි, සිතට ප්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණු දසයට අනතුරු ඇතිවන දස කරුණු මේවා ය.

මහණෙනි, මේ සිතට ප්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණු දසයට උපකාරී වන කරුණු ද දසයකි.

අනලස බව ත්, උත්සාහයෙන් නැගී සිටීම ත් භෝග සම්පත්තියට උපකාරයකි. සැරසීම ත්, ආභරණත් පැහැපත් බවට උපකාරයකි. සෞඛ්‍යයට හිත වූ ක්‍රියාවෙන් යුතු වීම නීරෝග බවට උපකාරයකි. කලණ මිත්‍රයන් ඇති බව සීලයට උපකාරයකි. ඉන්ද්‍රිය සංවරය බඹසරට උපකාරයකි. වාද විවාද නැති බව මිතුරු බවට උපකාරයකි. නිතර සජ්ඣායනා කිරීම බහුශ්‍රැත බවට උපකාරයකි. මැනැවින් සවන් දීම ත්, නොදන්නා දේ විමසීම ත් ප්‍රඥාවට උපකාරයකි. භාවිතයෙහි යෙදීම ත්, නුවණින් මෙනෙහි කිරීම ත් ධර්මයන්ට උපකාරයකි. සම්‍යක් ප්‍රතිපදාව ස්වර්ගයන්ට උපකාරයකි.

මහණෙනි, සිතට ප්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණු දසයට උපකාරී වන කරුණු මේවා ය.

සාදු! සාදු!! සාදු!!!

ඉට්ඨධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M