එක් සමයක ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මගධයෙහි නාලක ගමෙහි වැඩ වාසය කරන සේක. එකල්හී සාමණ්ඩකානි පරිබ්‍රාජකයා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ යම් තැනක වැඩසිටිත් ද, එතැනට පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් සාරිපුත්තයන් සමඟ සතුටු විය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් සාමණ්ඩකානි පරිබ්‍රාජකයා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, සැප යනු කිමෙක් ද? දුක යනු කිමෙක් ද?”
“ආයුෂ්මත, ඉපදීම යනු දුක ය. නොඉපදීම යනු සැප ය. ආයුෂ්මත, ඉපදීම ඇති කල්හී මේ දුකට කැමති විය යුතුය. එනම් සීතල ය, උණුසුම ය, කුසගින්න ය, පිපාසය ය, අසුචි ය, මූත්‍ර ය, ගින්නෙන් ලැබෙන පහස ය, දඩු මුගුරුයෙන් ලැබෙන පහස ය, අවි ආයුධයෙන් ලැබෙන පහස ය, ඥාතිමිත්‍රාදීහු ඇවිත් ඇවිත් කෝප කිරීම ත් ය. ආයුෂ්මත, ඉපදීම ඇති කල්හී මේ දුකට කැමති විය යුතුයි.
ආයුෂ්මත, නොඉපදීම ඇති කල්හී මේ සැපට කැමති විය යුතුය. එනම් සීතල නැත්තේ ය, උණුසුම නැත්තේ ය, කුසගින්න නැත්තේ ය, පිපාසය නැත්තේ ය, අසුචි නැත්තේ ය, මූත්‍ර නැත්තේ ය, ගින්නෙන් ලැබෙන පහස නැත්තේ ය, දඩු මුගුරුයෙන් ලැබෙන පහස නැත්තේ ය, අවි ආයුධයෙන් ලැබෙන පහස නැත්තේ ය, ඥාතිමිත්‍රාදීහු ඇවිත් ඇවිත් කෝප කිරීම ත් නැත්තේ ය. ආයුෂ්මත, නොඉපදීම ඇති කල්හී මේ සැපට කැමති විය යුතුයි.”
සාදු! සාදු!! සාදු!!!
පඨම සුඛ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M