අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.2.2.4. අවෙච්චප්පසන්න සුත්තං

10.2.2.4. නොසෙල්වෙන පැහැදීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………..

මහණෙනි, යම් කෙනෙක් මා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමට පත්වූවාහු වෙත් ද, ඒ සියල්ලෝ ම සෝතාපන්නයෝ ය. ඒ සෝතාපන්නයන් ගෙන් පස් දෙනෙකු මේ ලෝකයෙහි දී නිෂ්ඨාවට පත්වෙති. පස්දෙනෙකු මෙලොවින් බැහැර නිෂ්ඨාවට පත්වෙති. මහණෙනි, මෙලොව දී කවර පස් දෙනෙකුගේ නිෂ්ඨාවක් තිබේ ද? එනම් සත්තක්ඛත්තු පරමයාගේ ය, කෝලංකෝලයාගේ ය, ඒකබීජීහුගේ ය, සකදාගාමීහු ගේ ය, යමෙක් මේ ජීවිතයේදී ම අරහත්වයට පත් වෙයි නම් ඔහුගේ ය යන මේ පස් දෙනාගේ නිෂ්ඨාව මෙලොවෙහි දී ම වේ.

මහණෙනි, මෙලොවින් බැහැර නිෂ්ඨාවට පත්වන්නේ කවර පස් දෙනෙකුගේ ද? එනම් සුද්ධාවාසයෙහි උපදින අතරෙහි ම පිරිනිවී යන සුළු අන්තරා පරිනිබ්බායිහුගේ ය. සුද්ධාවාස බඹලොවෙහි උපන් සැණින් පිරිනිවී යන සුළු උපහච්ච පරිනිබ්බායිහුගේ ය. සුද්ධාවාස බඹලොවෙහි අඩක් ආයු ගෙවා පිරිනිවී යන සුළු අසංඛාර පරිනිබ්බායිහුගේ ය. සුද්ධාවාස බඹලොවෙහි සම්පූර්ණ ආයු කාලය ගෙවා පිරිනිවී යන සුළු සසංඛාර පරිනිබ්බායිහුගේ ය. කෙමෙන් ඉහළට යමින් අකනිටා බඹලොව දක්වා ගොස් පිරිනිවී යන සුළු උද්ධංසෝත අකනිට්ඨගාමීහුගේ ය. මේ පස් දෙනා මෙලොවින් බැහැර නිෂ්ඨාව ලබයි. මහණෙනි, යම් කෙනෙක් මා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමට පත්වූවාහු වෙත් ද, ඒ සියල්ලෝ ම සෝතාපන්නයෝ ය. ඒ සෝතාපන්නයන්ගෙන් මේ පස් දෙනා මේ ලෝකයෙහි දී නිෂ්ඨාවට පත්වෙති. මේ පස්දෙනා මෙලොවින් බැහැර නිෂ්ඨාවට පත්වෙති.

සාදු! සාදු!! සාදු!!!

අවෙච්චප්පසන්න සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-2-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M