එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු පසුබත් කාලයෙහි බොහෝ භික්ෂූහු උපස්ථාන ශාලායෙහි රැස් ව සිටියාහු ය. රැස් ව දබර කරගත්තාහු ය. කලහ කරගත්තාහුය. වාද විවාද කරගත්තාහු ය. එකිනෙකා හට වචන නමැති සැතින් පහර දී ගත්තාහු ය.
එකල්හී භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට උපස්ථාන ශාලාව යම් තැනක ද, එතැනට වැඩි සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එසේ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, දැන් කවර නම් කථාවකින් ඔබ කල් යැව්වාහු ද? ඔබගේ කවර වූ කථාවක් අඩාල වූයේ ද?”
“ස්වාමීනී, මෙහිලා අපි පසුබත් කල පිණ්ඩපාතයෙන් වැළකී උපස්ථාන ශාලාවෙහි රැස් ව හුන්නමෝ වෙමු. ඒ අපි දබර කරගත්තාහු, කලහ කරගත්තාහු, වාද විවාද කරගත්තාහු, එකිනෙකා හට වචන නැමැති සැතින් පහර දී ගත්තාහු වෙමු.”
“මහණෙනි, ශ්‍රද්ධාවෙන් යුක්ත ව ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වූ කුලපුත්‍රයන් වූ ඔබට මේ අයුරින් දබර කරගැනීම, කලහ කරගැනීම, වාද විවාද කරගැනීම, එකිනෙකාට වචන නැමැති සැතින් පහර දී ගැනීම කිසිසේත් සුදුසු නැත.
මහණෙනි, නිතර සිහි කළ යුතු, ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එකිනෙකාට උපකාරී වන, විවාද රහිත ව සමගියෙන් විසීමට හේතු වන, එකට වාසය කිරීමට හේතුවන මේ කරුණු දසයකි. ඒ කවර දසයක් ද යත්;
1. මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි. මහණෙනි, යම් හෙයකින් භික්ෂුවක් සිල්වත් වෙයි නම් ….(පෙ)…. සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ නම් මෙය ද නිතර සිහි කළ යුතු, ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එකිනෙකාට උපකාරී වන, විවාද රහිත ව සමගියෙන් විසීමට හේතු වන, එකට වාසය කිරීමට හේතුවන කරුණකි.
2. තව ද මහණෙනි, භික්ෂුව ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් දරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමෙකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය. මහණෙනි, යම් හෙයකින් භික්ෂුව ධර්මය බොහෝ කොට අසන ලද්දේ වෙයි ද, ….(පෙ)…. නුවණින් අවබෝධ කරන ලද්දේ වෙයි ද, මෙය ද නිතර සිහි කළ යුතු, ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එකිනෙකාට උපකාරී වන, විවාද රහිත ව සමගියෙන් විසීමට හේතු වන, එකට වාසය කිරීමට හේතුවන කරුණකි.
3. තව ද මහණෙනි, භික්ෂුව කලණ මිතුරන් ඇත්තේ වෙයි. කල්‍යාණ සහායකයන් ඇත්තේ වෙයි. කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරු වූයේ වෙයි. මහණෙනි, යම් හෙයකින් භික්ෂුව කලණ මිතුරන් ඇත්තේ වෙයි ද, කල්‍යාණ සහායකයන් ඇත්තේ වෙයි ද, කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරු වූයේ වෙයි ද මෙය ද නිතර සිහි කළ යුතු, ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එකිනෙකාට උපකාරී වන, විවාද රහිත ව සමගියෙන් විසීමට හේතු වන, එකට වාසය කිරීමට හේතුවන කරුණකි.
4. තව ද මහණෙනි, භික්ෂුව කීකරු වූයේ වෙයි. කීකරු බව ඇතිකරන ගුණදහමින් යුක්ත වූයේ ද වෙයි. ඉවසීමෙන් යුක්ත වූයේ වෙයි. අවවාදයන් ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිත ව පිළිගන්නේ වෙයි. මහණෙනි, යම් හෙයකින් භික්ෂුව කීකරු වූයේ වෙයි ද, කීකරු බව ඇතිකරන ගුණ දහමින් යුක්ත වූයේ වෙයි ද, ඉවසීමෙන් යුක්ත වෙයි ද, අවවාද ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගන්නේ වෙයි ද, මෙය ද නිතර සිහි කළ යුතු, ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එකිනෙකාට උපකාරී වන, විවාද රහිත ව සමගියෙන් විසීමට හේතු වන, එකට වාසය කිරීමට හේතුවන කරුණකි.
5. තව ද මහණෙනි, භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ යම් කුදු මහත් වැඩපළ සොයා බැලිය යුතුව ඇද්ද, එහිලා දක්ෂ වෙයි. අලස බවින් තොර වෙයි. එහිලා විමසා බලා වැඩකටයුතු කරන්නේ වෙයි. ඒ කටයුතු කිරීමට දක්ෂ වූයේ ද වෙයි. පිළිවෙලකට කිරීමට දක්ෂ වූයේ ද වෙයි. මහණෙනි, යම් හෙයකින් භික්ෂුව සබ්‍රහ්චාරීන් වහන්සේලාගේ යම් කුදු මහත් වැඩපළ සොයා බැලිය යුතු ව ඇද්ද, එහිලා දක්ෂ වෙයි ද, අලස බවින් තොර වෙයි ද, එහිලා විමසා බලා වැඩකටයුතු කරන්නේ වෙයි ද, ඒ කටයුතු කිරීමට දක්ෂ වූයේ වෙයි ද පිළිවෙලකට කිරීමට දක්ෂ වූයේ වෙයි ද මෙය ද නිතර සිහි කළ යුතු, ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එකිනෙකාට උපකාරී වන, විවාද රහිත ව සමගියෙන් විසීමට හේතු වන, එකට වාසය කිරීමට හේතුවන කරුණකි.
6. තවද මහණෙනි, භික්ෂුව ධර්මයට කැමති වූයේ වෙයි. ප්‍රිය වූ බසින් ධර්මය දෙසන්නේ ද වෙයි. ගැඹුරු ධර්මයෙහි ත්, ගැඹුරු විනයෙහි ත් උදාර වූ සතුටක් විඳින්නේ වෙයි. මහණෙනි, යම් හෙයකින් භික්ෂුව ධර්මයට කැමති වන්නේ ද, ප්‍රිය වූ බසින් දහම් දෙසන්නේ ද, ගැඹුරු ධර්මයෙහි ත්, ගැඹුරු විනයෙහි ත් උදාර වූ සතුටක් විඳින්නේ ද මෙය ද නිතර සිහි කළ යුතු, ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එකිනෙකාට උපකාරී වන, විවාද රහිත ව සමගියෙන් විසීමට හේතු වන, එකට වාසය කිරීමට හේතුවන කරුණකි.
7. තව ද මහණෙනි, භික්ෂුව පටන්ගත් වීර්යයෙන් යුක්ත වූයේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට ත්, කුසල් දහම් උපදවා ගැනීමට ත් නිසි බල ඇතියෙක් වෙයි. දැඩි වීර්යයකින් යුක්ත වෙයි. කුසල් දහම් ඉපිදවීමෙහිලා අත් නොහළ වීර්යය ඇත්තේ වෙයි. මහණෙනි, යම් හෙයකින් භික්ෂුව පටන් ගත් වීර්යයෙන් යුක්ත වූයේ වෙයි ද, අකුසල් දහම් ප්‍රහාණය කිරීමට ත්, කුසල් දහම් උපදවා ගැනීමට ත් නිසි බල ඇතියෙක් වෙයි ද, දැඩි වීර්යයකින් යුක්ත වෙයි ද, කුසල් දහම් ඉපිදවීමෙහිලා අත් නොහළ වීර්යය ඇත්තේ වෙයි ද මෙය ද නිතර සිහි කළ යුතු, ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එකිනෙකාට උපකාරී වන, විවාද රහිත ව සමගියෙන් විසීමට හේතු වන, එකට වාසය කිරීමට හේතුවන කරුණකි.
8. තව ද මහණෙනි, භික්ෂුව ලද දෙයින් සතුටු වූයේ වෙයි. ලද සිවුරකින්, ලද පිණ්ඩපාතයකින්, ලද සෙනසුනකින්, ලද ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වූයේ වෙයි. මහණෙනි, යම් හෙයකින් භික්ෂුව ලද දෙයින් සතුටු වූයේ වෙයි ද, ලද සිවුරකින්, ලද පිණ්ඩපාතයකින්, ලද සෙනසුනකින්, ලද ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වූයේ වෙයි ද මෙය ද නිතර සිහි කළ යුතු, ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එකිනෙකාට උපකාරී වන, විවාද රහිත ව සමගියෙන් විසීමට හේතු වන, එකට වාසය කිරීමට හේතුවන කරුණකි.
9. තව ද මහණෙනි, භික්ෂුව මනා සිහි ඇත්තේ වෙයි. නුවණින් යුතුව උතුම් අයුරින් සිහිය පවත්වන්නේ වෙයි. බොහෝ කලකට පෙර කරන ලද යමක් ඇද්ද, බොහෝ කලකට පෙර පැවසූ යමක් ඇද්ද එය සිහි කරන්නේ, නැවත නැවත සිහි කරන්නේ වෙයි. මහණෙනි, යම් හෙයකින් භික්ෂුව මනා සිහි ඇත්තේ වෙයි ද, නුවණින් යුතු ව උතුම් අයුරින් සිහිය පවත්වන්නේ වෙයි ද, බොහෝ කලකට පෙර කරන ලද යමක් ඇද්ද, බොහෝ කලකට පෙර පැවසූ යමක් ඇද්ද එය සිහි කරන්නේ, නැවත නැවත සිහි කරන්නේ වෙයි ද, මෙය ද නිතර සිහි කළ යුතු, ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එකිනෙකාට උපකාරී වන, විවාද රහිත ව සමගියෙන් විසීමට හේතු වන, එකට වාසය කිරීමට හේතුවන කරුණකි.
10. තව ද මහණෙනි, භික්ෂුව ප්‍රඥාවන්ත වෙයි. මැනැවින් දුක් ගෙවී යාමෙහි සමර්ථ වූ ආර්ය වූ තියුණු අවබෝධයෙකින් යුක්ත වූයේ, හටගැනීම ත් නැතිවීම ත් මැනැවින් වැටහෙන ප්‍රඥාවෙකින් යුක්ත වූයේ වෙයි. මහණෙනි, යම්හෙයකින් භික්ෂුව ප්‍රඥාවන්ත වෙයි ද, මැනැවින් දුක් ගෙවී යාමෙහි සමර්ථ වූ ආර්ය වූ තියුණු අවබෝධයෙකින් යුක්ත වූයේ ද, හටගැනීම ත් නැතිවීම ත් මැනැවින් වැටහෙන ප්‍රඥාවෙකින් යුක්ත වූයේ වෙයි ද, මෙය ද නිතර සිහි කළ යුතු, ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එකිනෙකාට උපකාරී වන, විවාද රහිත ව සමගියෙන් විසීමට හේතු වන, එකට වාසය කිරීමට හේතුවන කරුණකි.
මහණෙනි, නිතර සිහි කළ යුතු, ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එකිනෙකාට උපකාරී වන, විවාද රහිත ව සමගියෙන් විසීමට හේතු වන, එකට වාසය කිරීමට හේතුවන කරුණු දසය මේවා ය.”
සාදු! සාදු!! සාදු!!!
භණ්ඩන සූත්‍රය නිමා විය.
පස්වෙනි අක්කෝස වර්ගය අවසන් විය.
පළමු පණ්ණාසකය නිමා විය.
එහි පිළිවෙල උද්දානයයි :
විවාද සූත්‍රය, විවාදමූල සූත්‍ර දෙක, කුසිනාරා සූත්‍රය, අන්තේපුරප්පවේසන සූත්‍රය, සක්‍ය සූත්‍රය, මහාලි සූත්‍රය, දස ධම්ම සූත්‍රය, සරීරට්ඨ සූත්‍රය සහ භණ්ඩන සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M