අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.2.8. දුතිය නාථකරණ සුත්තං

10.1.2.8. පිහිට ලබා දෙන කරුණු ගැන වදාළ දෙවන දෙසුම

සැවැත් නුවර දී ය……….

මහණෙනි, පිහිට ඇති ව වසව්. පිහිට නැති ව වසන්නට එපා! මහණෙනි, පිහිටක් නැති තැනැත්තා දුක සේ වාසය කරයි. මහණෙනි, මේ දස ධර්මයන් පිහිට ලබා දෙන්නේ ය. කවර දසයක් ද යත්;

1. මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ….(පෙ)…. සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි. එකල්හී ස්ථවිර භික්ෂූන් පවා ‘ඒකාන්තයෙන් ම මේ භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇති ව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි’ යි ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. මධ්‍යම භික්ෂූන් පවා ….(පෙ)…. නවක භික්ෂූන් පවා ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. ස්ථවිර භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, මධ්‍යම භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, නවක භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද ඒ භික්ෂුවට කුසල ධර්මයන් පිළිබඳව දියුණුවක් ම කැමති විය යුතු ය. පරිහානියක් නම් නොවෙයි. මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

2. තව ද මහණෙනි, භික්ෂුව ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ….(පෙ)…. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය. එකල්හී ස්ථවිර භික්ෂූන් පවා ‘ඒකාන්තයෙන් ම මේ භික්ෂුව ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් දරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමකින් යුක්ත වෙත් ද, ….(පෙ)…. අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ මොහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය’ යි ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. මධ්‍යම භික්ෂූන් පවා ….(පෙ)…. නවක භික්ෂූන් පවා ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. ස්ථවිර භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, මධ්‍යම භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, නවක භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද ඒ භික්ෂුවට කුසල ධර්මයන් පිළිබඳව දියුණුවක් ම කැමති විය යුතුය. පරිහානියක් නම් නොවෙයි. මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

3. තව ද මහණෙනි, භික්ෂුව කලණ මිතුරන් ඇත්තේ වෙයි. කල්‍යාණ සහායකයන් ඇත්තේ වෙයි. කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරු වූයේ වෙයි. එකල්හී ස්ථවිර භික්ෂූන් පවා ‘ඒකාන්තයෙන් ම මේ භික්ෂුව කලණ මිතුරන් ඇත්තේ වෙයි. කල්‍යාණ සහායකයන් ඇත්තේ වෙයි. කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරු වූයේ වෙයි’ යි ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. මධ්‍යම භික්ෂූන් පවා ….(පෙ)…. නවක භික්ෂූන් පවා ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. ස්ථවිර භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, මධ්‍යම භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, නවක භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද ඒ භික්ෂුවට කුසල ධර්මයන් පිළිබඳ ව දියුණුවක් ම කැමති විය යුතු ය. පරිහානියක් නම් නොවෙයි. මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

4. තව ද මහණෙනි, භික්ෂුව කීකරු වූයේ වෙයි. කීකරු බව ඇතිකරන ගුණදහමින් යුක්ත වූයේ ද වෙයි. ඉවසීමෙන් යුක්ත වූයේ වෙයි. අවවාදයන් ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිත ව පිළිගන්නේ වෙයි. එකල්හී ස්ථවිර භික්ෂූන් පවා ‘ඒකාන්තයෙන් ම මේ භික්ෂුව කීකරු වූයේ වෙයි. කීකරු බව ඇතිකරන ගුණදහමින් යුක්ත වූයේ ද වෙයි. ඉවසීමෙන් යුක්ත වූයේ වෙයි. අවවාදයන් ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිත ව පිළිගන්නේ වෙයි’ යි ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. මධ්‍යම භික්ෂූන් පවා ….(පෙ)…. නවක භික්ෂූන් පවා ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. ස්ථවිර භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, මධ්‍යම භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, නවක භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද ඒ භික්ෂුවට කුසල ධර්මයන් පිළිබඳ ව දියුණුවක් ම කැමති විය යුතුය. පරිහානියක් නම් නොවෙයි. මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

5. තව ද මහණෙනි, භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ යම් කුදු මහත් වැඩපළ සොයා බැලිය යුතු ව ඇද්ද, එහිලා දක්ෂ වෙයි. අලස බවින් තොර වෙයි. එහිලා විමසා බලා වැඩකටයුතු කරන්නේ වෙයි. ඒ කටයුතු කිරීමට දක්ෂ වූයේ ද වෙයි. පිළිවෙලකට කිරීමට දක්ෂ වූයේ ද වෙයි. එකල්හී ස්ථවිර භික්ෂූන් පවා ‘ඒකාන්තයෙන් ම මේ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ යම් කුදු මහත් වැඩපළ සොයා බැලිය යුතු ව ඇද්ද, එහිලා දක්ෂ වෙයි. අලස බවින් තොර වෙයි. එහිලා විමසා බලා වැඩකටයුතු කරන්නේ වෙයි. ඒ කටයුතු කිරීමට දක්ෂ වූයේ ද වෙයි. පිළිවෙලකට කිරීමට දක්ෂ වූයේ ද වෙයි’ යි ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. මධ්‍යම භික්ෂූන් පවා ….(පෙ)…. නවක භික්ෂූන් පවා ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. ස්ථවිර භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, මධ්‍යම භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, නවක භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද ඒ භික්ෂුවට කුසල ධර්මයන් පිළිබඳ ව දියුණුවක් ම කැමති විය යුතුය. පරිහානියක් නම් නොවෙයි. මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

6. තවද මහණෙනි, භික්ෂුව ධර්මයට කැමති වූයේ වෙයි. ප්‍රිය වූ බසින් ධර්මය දෙසන්නේ ද වෙයි. ගැඹුරු ධර්මයෙහි ත්, ගැඹුරු විනයෙහි ත් උදාර වූ සතුටක් විඳින්නේ වෙයි. එකල්හී ස්ථවිර භික්ෂූන් පවා ‘ඒකාන්තයෙන් මේ භික්ෂුව ධර්මයට කැමති වූයේ වෙයි. ප්‍රිය වූ බසින් ධර්මය දෙසන්නේ ද වෙයි. ගැඹුරු ධර්මයෙහි ත්, ගැඹුරු විනයෙහි ත් උදාර වූ සතුටක් විඳින්නේ වෙයි’ යි ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. මධ්‍යම භික්ෂූන් පවා ….(පෙ)…. නවක භික්ෂූන් පවා ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. ස්ථවිර භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, මධ්‍යම භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, නවක භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද ඒ භික්ෂුවට කුසල ධර්මයන් පිළිබඳ ව දියුණුවක් ම කැමති විය යුතුය. පරිහානියක් නම් නොවෙයි. මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

7. තව ද මහණෙනි, භික්ෂුව පටන්ගත් වීර්යයෙන් යුක්ත වූයේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීම ත්, කුසල් දහම් උපදවා ගැනීමට ත් නිසි බල ඇතියෙක් වෙයි. දැඩි වීර්යයකින් යුක්ත වෙයි. කුසල් දහම් ඉපිදවීමෙහිලා අත් නොහළ වීර්යය ඇත්තේ වෙයි. එකල්හී ස්ථවිර භික්ෂූන් පවා ‘ඒකාන්තයෙන් මේ භික්ෂුව පටන්ගත් වීර්යයෙන් යුක්ත වූයේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීම ත්, කුසල් දහම් උපදවා ගැනීමට ත් නිසි බල ඇතියෙක් වෙයි. දැඩි වීර්යයකින් යුක්ත වෙයි. කුසල් දහම් ඉපිදවීමෙහිලා අත් නොහළ වීර්යය ඇත්තේ වෙයි’ යි ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. මධ්‍යම භික්ෂූන් පවා ….(පෙ)…. නවක භික්ෂූන් පවා ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. ස්ථවිර භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, මධ්‍යම භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, නවක භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද ඒ භික්ෂුවට කුසල ධර්මයන් පිළිබඳ ව දියුණුවක් ම කැමති විය යුතුය. පරිහානියක් නම් නොවෙයි. මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

8. තව ද මහණෙනි, භික්ෂුව ලද දෙයින් සතුටු වූයේ වෙයි. ලද සිවුරකින්, ලද පිණ්ඩපාතයකින්, ලද සෙනසුනකින්, ලද ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වූයේ වෙයි. එකල්හී ස්ථවිර භික්ෂූන් පවා ‘ඒකාන්තයෙන් මේ භික්ෂුව ලද දෙයින් සතුටු වූයේ වෙයි. ලද සිවුරකින්, ලද පිණ්ඩපාතයකින්, ලද සෙනසුනකින්, ලද ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වූයේ වෙයි’ යි ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. මධ්‍යම භික්ෂූන් පවා ….(පෙ)…. නවක භික්ෂූන් පවා ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. ස්ථවිර භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, මධ්‍යම භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, නවක භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද ඒ භික්ෂුවට කුසල ධර්මයන් පිළිබඳ ව දියුණුවක් ම කැමති විය යුතුය. පරිහානියක් නම් නොවෙයි. මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

9. තව ද මහණෙනි, භික්ෂුව මනා සිහි ඇත්තේ වෙයි. නුවණින් යුතු ව උතුම් අයුරින් සිහිය පවත්වන්නේ වෙයි. බොහෝ කලකට පෙර කරන ලද යමක් ඇද්ද, බොහෝ කලකට පෙර පැවසූ යමක් ඇද්ද එය සිහි කරන්නේ, නැවත නැවත සිහි කරන්නේ වෙයි. එකල්හී ස්ථවිර භික්ෂූන් පවා ‘ඒකාන්තයෙන් මේ භික්ෂුව මනා සිහි ඇත්තේ වෙයි. නුවණින් යුතුව උතුම් අයුරින් සිහිය පවත්වන්නේ වෙයි. බොහෝ කලකට පෙර කරන ලද යමක් ඇද්ද, බොහෝ කලකට පෙර පැවසූ යමක් ඇද්ද එය සිහි කරන්නේ, නැවත නැවත සිහි කරන්නේ වෙයි’ යි ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. මධ්‍යම භික්ෂූන් ….(පෙ)…. නවක භික්ෂූන් පවා ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. ස්ථවිර භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, මධ්‍යම භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, නවක භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද ඒ භික්ෂුවට කුසල ධර්මයන් පිළිබඳ ව දියුණුවක් ම කැමති විය යුතුය. පරිහානියක් නම් නොවෙයි. මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

10. තව ද මහණෙනි, භික්ෂුව ප්‍රඥාවන්ත වෙයි. මැනැවින් දුක් ගෙවී යාමෙහි සමර්ථ වූ ආර්ය වූ තියුණු අවබෝධයෙකින් යුක්ත වූයේ, හටගැනීම ත් නැතිවීම ත් මැනැවින් වැටහෙන ප්‍රඥාවකින් යුක්ත වූයේ වෙයි. එකල්හී ස්ථවිර භික්ෂූන් පවා ‘ඒකාන්තයෙන් මේ භික්ෂුව ප්‍රඥාවන්ත වෙයි. මැනැවින් දුක් ගෙවී යාමෙහි සමර්ථ වූ ආර්ය වූ තියුණු අවබෝධයෙකින් යුක්ත වූයේ, හටගැනීම ත් නැතිවීම ත් මැනැවින් වැටහෙන ප්‍රඥාවෙකින් යුක්ත වූයේ වෙයි’ යි ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. මධ්‍යම භික්ෂූන් පවා ….(පෙ)…. නවක භික්ෂූන් පවා ඒ භික්ෂුව කරුණු කිව යුතු වූ ත්, අනුශාසනා කළ යුතු වූ ත් කෙනෙකි යි සිතත්. ස්ථවිර භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, මධ්‍යම භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද, නවක භික්ෂූන් විසින් අනුකම්පා කරන ලද ඒ භික්ෂුවට කුසල ධර්මයන් පිළිබඳ ව දියුණුවක් ම කැමති විය යුතුය. පරිහානියක් නම් නොවෙයි. මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.

මහණෙනි, පිහිට ඇති ව වසව්. පිහිට නැති ව වසන්නට එපා! මහණෙනි, පිහිටක් නැති තැනැත්තා දුක සේ වාසය කරයි. මහණෙනි, මේ දස ධර්මයන් පිහිට ලබා දෙන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය නාථකරණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M