එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කුරු රට කම්මාස්සදම්ම නම් කුරු රට වැසියන්ගේ නියම්ගමෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ….(පෙ)…. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, යම් තැනක ආර්යයෝ වාසය කළාහු වෙත් ද, වර්තමානයෙහි වසත් ද, අනාගතයෙහි වාසය කරන්නාහු වෙත් ද, ඒ මේ ආර්යයන් වසන තැන් දසයකි. කවර දසයක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ප්‍රහීණ කරන ලද පස් කරුණකින් යුක්ත වූයේ වෙයි. සය කරුණකින් යුක්ත වූයේ වෙයි. එක් ආරක්ෂාවකින් යුක්ත වූයේ වෙයි. අපස්සේනයන් සතරකින් යුක්ත වූයේ වෙයි. දුරු කළ ප්‍රත්‍යෙක සත්‍යයෙන් යුක්ත වෙයි. ඒසනා සංසිඳවන ලද්දේ වෙයි. නොකැළඹුණු සංකල්ප ඇත්තේ වෙයි. සංසිඳුණු කාය සංස්කාර ඇත්තේ වෙයි. මැනැවින් නිදහස් වූ සිතක් ඇත්තේ වෙයි. මැනැවින් නිදහස් වූ ප්‍රඥාවකින් යුක්ත වූයේ වේ.
1. මහණෙනි, භික්ෂුව ප්‍රහාණය කරන ලද පස් කරුණකින් යුක්ත වන්නේ කෙසේ ද? මහණෙනි, භික්ෂුවගේ පංච කාමයන් කෙරෙහි ඇති ආශාව ප්‍රහාණය වූයේ වෙයි. ද්වේෂය ප්‍රහාණය වූයේ වෙයි. නිදිමත හා අලස බව ප්‍රහාණය වූයේ වෙයි. සිතෙහි විසිරීමත්, පසුතැවීමත් ප්‍රහාණය වූයේ වෙයි. සැකයත් ප්‍රහාණය වූයේ වෙයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව ප්‍රහාණය කරන ලද පස් කරුණකින් යුක්ත වූයේ වෙයි.
2. මහණෙනි, භික්ෂුව අංග සයකින් යුක්ත වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක සතුටු නොවන්නේ ද වෙයි. ගැටුණේ ද නොවෙයි. මනා සිහි නුවණින් යුක්ත ව උපේක්ෂාවෙන් වාසය කරයි. කනෙන් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රස විඳ ….(පෙ)…. කයෙන් පහස විඳ ….(පෙ)…. මනසින් අරමුණු දැන සතුටු නොවන්නේ ද වෙයි. ගැටුණේ ද නොවෙයි. මනා සිහි නුවණින් යුක්ත ව උපේක්ෂාවෙන් වාසය කරයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව අංග සයකින් යුක්ත වූයේ වෙයි.
3. මහණෙනි, භික්ෂුව එක ආරක්ෂකයෙක් සහිත ව සිටින්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සිහිය නම් වූ ආරක්ෂකයා සහිත වූ සිතින් යුක්ත වෙයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව එක ආරක්ෂකයෙක් සහිත ව සිටින්නේ වේ.
4. මහණෙනි, භික්ෂුව අපස්සේන නම් වූ හේත්තු වන පුවරු සතරක් ඇති ව වසන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා භික්ෂුව නුවණින් සලකමින් එක් දෙයක් සේවනය කරයි. නුවණින් සලකමින් එක් දෙයක් ඉවසයි. නුවණින් සලකමින් එක දෙයක් වළකයි. නුවණින් සලකමින් එක් දෙයක් දුරු කරයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව අපස්සේන සතරකින් යුක්ත වූයේ වෙයි.
5. මහණෙනි, භික්ෂුව ‘මෙය ම සත්‍යය’ යැයි වෙන් වෙන් ව පවසන දෑ දුරු කරන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ඉදිරියේ යම් ඒ බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණවරු වෙන් වෙන් ව සත්‍යය යැයි පවසන නොයෙක් දේ ඇත්තාහ. එනම් ‘ලෝකය සදාකාලික’ ය කියා වේවා, ‘ලෝකය සදාකාලික නැත’ කියා වේවා, ‘ලෝකය කෙළවර සහිතයි’ කියා වේවා, ‘ලෝකය කෙළවර රහිතයි’ කියා වේවා, ‘එය ම ජීවය යි, එය ම ශරීරය යි’ කියා වේවා, ‘ජීවය අනිකකි, ශරීරය අනිකකි’ කියා වේවා, ‘තථාගත තෙමේ මරණින් මතු ඇත්තේ ය’ කියා වේවා, ‘තථාගත තෙමේ මරණින් මතු නැත්තේ ය’ කියා වේවා, ‘තථාගත තෙමේ මරණින් මතු ඇත්තේ ය, නැත්තේ ය’ කියා වේවා, ‘තථාගත තෙමේ මරණින් මතු ඇත්තේ ත් නැත, නැත්තේ ත් නැත’ කියා වේවා වෙන් වෙන් ව සත්‍යය යැයි පවසන දෑ ඇද්ද, ඒ සියල්ල බැහැර කරන ලද්දේ ය. මැනැවින් බැහැර කරන ලද්දේ ය. අත්හරින ලද්දේ ය. වමාරන ලද්දේ ය. නිදහස් වෙන ලද්දේ ය. ප්‍රහීණ කරන ලද්දේ ය. මැනැවින් අත්හරින ලද්දේ ය. මහණෙනි, මේ අයුරින් භික්ෂුව මැනැවින් දුරු කරන ලද වෙන් වෙන් ව පවසන ලද සත්‍යයන් ඇත්තේ වෙයි.
6. මහණෙනි, භික්ෂුව ඒසනා හෙවත් නිසරු සෙවීම් දුරු කොට සිටින්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව තුළ පංච කාමයන් සෙවීම ප්‍රහාණය වූයේ වෙයි. භවයන් සෙවීම ප්‍රහාණය වූයේ වෙයි. බුදු සසුනෙන් බැහැර මතවාදයන්හි ප්‍රතිපදාවන් සෙවීම සංසිඳුණේ වෙයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව නිසරු සෙවීම් දුරුකොට සිටින්නේ වෙයි.
7. මහණෙනි, භික්ෂුව නොකැළඹී ගිය සංකල්ප ඇතිව සිටින්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව තුළ පංච කාමයන් පිළිබඳව සංකල්ප ප්‍රහාණය වූයේ වෙයි. ද්වේෂ සහගත සංකල්ප ප්‍රහාණය වූයේ වෙයි. හිංසාකාරී සංකල්ප ප්‍රහාණය වූයේ වෙයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව නොකැළඹී ගිය සංකල්ප ඇත්තේ වෙයි.
8. මහණෙනි, භික්ෂුව සංසිඳී ගිය කාය සංස්කාර ඇතිව සිටින්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සැපය ද ප්‍රහාණය වීමෙන්, දුක ද ප්‍රහාණය වීමෙන් කලින් ම සොම්නස් දොම්නස් දෙක අත්හැරීමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ සිහියෙන් යුතු උපේක්ෂාව ඇති සතර වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව සංසිඳී ගිය ආශ්වාස ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාර ඇත්තේ වෙයි.
9. මහණෙනි, භික්ෂුව මැනැවින් නිදහස් වූ සිතක් ඇති ව සිටින්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුවගේ සිත රාගයෙන් නිදහස් වූයේ වෙයි. ද්වේෂයෙන් නිදහස් වූ සිතක් ඇත්තේ වෙයි. මෝහයෙන් නිදහස් වූ සිතක් ඇත්තේ වෙයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව නිදහස් වූ සිතක් ඇත්තේ වෙයි.
10. මහණෙනි, භික්ෂුව මැනැවින් නිදහස් වූ ප්‍රඥාවකින් යුක්ත වන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ‘මා තුළ රාගය ප්‍රහාණය වී ඇත. මුලින් ම සිඳී ගොස් ඇත. මුදුන් කරටිය සිඳුණු තල් ගසක් මෙන් වී ඇත. අභාවයට පත් වී ඇත. යළි කිසිදා නූපදිනා ස්වභාවයට පත් වී ඇතැ’යි දන්නේ වෙයි. ‘මා තුළ ද්වේෂය ප්‍රහාණය වී ඇත. ….(පෙ)…. මා තුළ මෝහය ප්‍රහාණය වී ඇත. මුලින් ම සිඳී ගොස් ඇත. මුදුන් කරටිය සිඳුණු තල් ගසක් මෙන් වී ඇත. අභාවයට පත් වී ඇත. යළි කිසිදා නූපදිනා ස්වභාවයට පත් වී ඇතැ’යි දන්නේ වෙයි. මහණෙනි, මේ අයුරින් භික්ෂුව මැනැවින් නිදහස් වූ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, අතීත කාලයෙහි යම් ආර්ය වාසස්ථානයක ආර්යයෝ වාසය කළාහු වෙත් ද ඒ සියල්ලෝ ම මෙම ආර්ය වාසස්ථාන දසයෙහි ම වාසය කළාහු ය. මහණෙනි, අනාගත කාලයෙහි යම් ආර්ය වාසස්ථානයක ආර්යයෝ වාසය කරන්නාහු වෙත් ද ඒ සියල්ලෝ ම මෙම ආර්ය වාසස්ථාන දසයෙහි ම වාසය කරන්නාහු ය. වර්තමාන කාලයෙහි යම් ආර්ය වාසස්ථානයක ආර්යයෝ වාසය කරත් ද ඒ සියල්ලෝ ම මෙම ආර්ය වාසස්ථාන දසයෙහි ම වාසය කරති.
මහණෙනි, යම් තැනක ආර්යයෝ වාසය කළාහු වෙත් ද, වර්තමානයෙහි වසත් ද, අනාගතයෙහි වාසය කරන්නාහු වෙත් ද, ඒ මේ ආර්යයන් වසන තැන් දසයයි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය අරියවාස සූත්‍රය නිමා විය.
දෙවෙනි නාථ වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සේනාසන සූත්‍රය, අංග සූත්‍රය, සංයෝජන සූත්‍රය, ඛිල සූත්‍රය, අප්පමාද සූත්‍රය, ආහුනෙය්ය සූත්‍රය, නාථ සූත්‍ර දෙක සහ අරියවාස සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M