අංගුත්තර නිකාය

දසක නිපාතෝ

10.1.1.8. සද්ධ සුත්තං

10.1.1.8. ශ්‍රද්ධාව මුල්කොට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ………………

මහණෙනි, භික්ෂුව ශ්‍රද්ධාවන්ත වූයේ ත් වෙයි. එනමුදු සිල්වත් වූයේ නොවෙයි. මේ අයුරින් ඔහු ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි. ඒ භික්ෂුව විසින් ‘මම් සැදැහැවතෙකුත් වී සිල්වතෙකුත් වී සිටින්නේ කෙසේදැ’යි ඒ අංගය සම්පූර්ණ කළ යුතු ය. මහණෙනි, යම් කලෙක භික්ෂුව සැදැහැවත් වූයේ ත් වේ ද, සිල්වත් වූයේ ත් වේ ද, මෙසේ ඔහු ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වේ.

මහණෙනි, භික්ෂුව ශ්‍රද්ධාවන්ත වූයේ ත් වෙයි. සිල්වත් වූයේ ත් වෙයි. එනමුදු ධර්මය බොහෝ කොට නොඅසන ලද්දේ වෙයි. ….(පෙ)…. ධර්මය බොහෝ කොට අසන ලද්දේ ත් වෙයි. එනමුදු ධර්ම කථිකයෙක් නොවෙයි. ….(පෙ)…. ධර්ම කථිකයෙක් ද වෙයි. එනමුදු පිරිස අතර නොසිටින්නේ වෙයි. ….(පෙ)…. පිරිස අතර සිටින්නේ ද වෙයි. එනමුදු පිරිස් මැද විශාරද ව ධර්මය නොදෙසන්නේ වෙයි. ….(පෙ)…. පිරිස් මැද විශාරද ව ධර්මය දෙසන්නේ ද වෙයි. එනමුදු විනයධරයෙක් නොවෙයි. ….(පෙ)…. විනයධරයෙක් ද වෙයි. එනමුදු දුර ඈත සෙනසුන්හි වසනා ආරණ්‍යක වූයේ නොවෙයි. ….(පෙ)…. දුර ඈත සෙනසුන්හි වසනා ආරණ්‍යක වූයෙක් ද වෙයි. එනමුදු ගැඹුරු චිත්ත සමාධියෙන් යුතු මෙලොව දී ම සුව සේ වාසය කළ හැකි වූ ධ්‍යාන සතර කැමති සේ නොලබන්නේ වෙයි. නිදුක් ව නොලබන්නේ වෙයි. අනායාසයෙන් නොලබන්නේ වෙයි. ….(පෙ)…. ගැඹුරු චිත්ත සමාධියෙන් යුතු, මෙලොවදී ම සුව සේ වාසය කළ හැකි වූ, ධ්‍යාන සතර ද කැමති සේ ලබන්නේ, නිදුක් ව ලබන්නේ, අනායාසයෙන් ලබන්නේ වෙයි. ආශ්‍රවයන් ක්ෂය වීමෙන් ලබන ආශ්‍රව රහිත චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේ දී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය නොකරන්නේ වෙයි.

මේ අයුරින් ඔහු ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි. ඒ භික්ෂුව විසින් ‘කෙසේ නම් මම් සැදැහැවතෙකු ව, සිල්වතෙකු ව, ධර්මයෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති ව, ධර්මකථික ව, පිරිස් අතර සිටිමින්, විශාරද ව පිරිස් මැද දහම් දෙසමින්, විනයධර ව, දුර ඈත සෙනසුන්හි වනවාසී ව සිටිමින්, කැමති සේ, නිදුක් ව, අනායාසයෙන් ගැඹුරු චිත්ත සමාධියෙන් යුතු, මෙලොවදී ම සුව සේ වාසය කළ හැකි වූ ධ්‍යාන සතර ද ලබමින්, ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් විශිෂ්ට වූ නුවණින් මේ ජීවිතයේ දී ම ලබා එයට සමවදිමින් සිටින්නෙම් දැ’යි ඒ අංගය සම්පූර්ණ කළ යුතු ය.

මහණෙනි, යම් කලෙක භික්ෂුව සැදැහැවත් වූයේ ත් වේ ද, සිල්වත් වූයේ ත් වේ ද, ධර්මයෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇති වූයේ ත් වේ ද, ධර්මකථික වූයේ ත් වේ ද, පිරිස් අතර සිටියේ ත් වේ ද, විශාරද ව පිරිස් මැද දහම් දෙසන්නේ ත් වේ ද, විනයධර වූයේ ත් ද, දුර ඈත සෙනසුන්හි වනවාසී ව සිටියේ ත් වේ ද, කැමති සේ, නිදුක් ව, අනායාසයෙන් ගැඹුරු චිත්ත සමාධියෙන් යුතු, මෙලොවදී ම සුව සේ වාසය කළ හැකි වූ ධ්‍යාන සතර ද ලබන්නේ වේ ද, ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් විශිෂ්ට වූ නුවණින් මේ ජීවිතයේ දී ම ලබා එයට සමවදිමින් සිටින්නේ ත් වේ ද මෙසේ ඔහු ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වෙයි.

මහණෙනි, මෙම දස කරුණෙන් සමන්විත වූ භික්ෂුව හැමඅතින් ම පැහැදීම ඇති කරන්නේ ද වෙයි. සියලු ආකාරයෙන් ම සම්පූර්ණ වූයේ ද වෙයි.

සාදු! සාදු!! සාදු!!!

සද්ධ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M