සැවැත් නුවර දී ය ………………
එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ යම් තැනක වැඩවෙසෙන සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ පිළිසඳර කතා බහේ යෙදුණහ. එසේ පිළිසඳරෙහි යෙදී එකත්පස් ව හිඳගත් සේක. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසූහ.
“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, භික්ෂුවකට මෙබඳු වූ සමාධියක් ලැබිය හැකි ද? එනම් යම් සේ පඨවි ධාතුවෙහි පඨවි යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආපෝ ධාතුවෙහි ආපෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, තේජෝ ධාතුවෙහි තේජෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, වායෝ ධාතුවෙහි වායෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, මේ ලෝකයෙහි මේ ලෝකය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, පරලොවෙහි පරලොව යන හැඳිනීමක් ඇති නොවෙයි ද, එසේ නමුත් හැඳිනීමකින් ද යුක්ත ව සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැකි ද?”
“එසේ ය ආනන්දයෙනි, යම් සේ පඨවි ධාතුවෙහි පඨවි යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ….(පෙ)…. පරලොවෙහි පරලොව යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත ව සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැකි ය.”
“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, කෙසේ නම් භික්ෂුවකට එබඳු සමාධියක් ලැබිය හැකි ද? එනම් යම් සේ පඨවි ධාතුවෙහි පඨවි යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ….(පෙ)…. පරලොවෙහි පරලොව යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, එසේ නමුත් හැඳිනීමකින් ද යුක්ත ව සිටින්නේ නම්, කෙසේ නම් එබඳු වූ සමාධි ප්‍රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැකි ද?”
“ආයුෂ්මත් ආනන්දයෙනි, එක් කලෙක මම් මේ සැවැත් නුවර ම අන්ධ වනයෙහි වාසය කළෙමි. එහිදී මම් යම්බඳු වූ සමාධියකට සමවැදුණෙමි. ‘යම් සේ පඨවි ධාතුවෙහි පඨවි යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආපෝ ධාතුවෙහි ආපෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, තේජෝ ධාතුවෙහි තේජෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, වායෝ ධාතුවෙහි වායෝ යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, මේ ලෝකයෙහි මේ ලෝකය යන හැඳිනීමක් ඇති නොවෙයි ද, පරලොවෙහි පරලොව යන හැඳිනීමක් ඇති නොවෙයි ද මෙබඳු වූ සමාධියකට සමවැදී සිටියෙමි.”
“ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඒ වෙලාවෙහි සිටියේ කුමක් පිළිබඳ හැඳිනීමකින් ද?”
“‘භවය නිරුද්ධ වීම නිවනයි, භවය නිරුද්ධ වීම නිවනයි’ යනුවෙන් ආයුෂ්මතුනි, එවේලෙහි මා තුළ අන්‍ය වූ ම හැඳිනීමක් උපදියි. අන්‍ය වූ ම හැඳිනීමක් නිරුද්ධ වෙයි. ආයුෂ්මතුනි, එය මෙවැනි දෙයකි. දර කැබලි ගින්නක් ඇවිලෙන කල්හී අන්‍ය වූ ම ගිනි සිළක් උපදින්නේ ය. අන්‍ය වූ ම ගිනි සිළක් නිරුද්ධ වන්නේ ය. එසෙයින් ම ආයුෂ්මතුනි, භවය නිරුද්ධ වීම නිවනයි, භවය නිරුද්ධ වීම නිවනයි’ යනුවෙන් මා තුළ අන්‍ය වූ ම හැඳිනීමක් උපදියි. අන්‍ය වූ ම හැඳිනීමක් නිරුද්ධ වෙයි. ආයුෂ්මත, ඒ වෙලාවෙහි ‘භව නිරෝධය නිවන යි’ යන හැඳිනීමෙන් මම සිටියෙමි.”
සාදු! සාදු!! සාදු!!!
සාරිපුත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-1-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M