අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.3.1. ඨාන සුත්තං

9.1.3.1. කරුණ ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, තුන් කරුණකින් උතුරු කුරු දිවයින්වාසී මිනිස්සු තව්තිසාවැසි දෙවියන් ද, දඹදිව්වැසි මිනිසුන් ද යටකොට ගෙන සිටිති. ඒ කවර කරුණු තුනකින් ද යත්;

1. කිසිවක් කෙරෙහි මගේ ය කියා දැඩි බැඳීමක් නැතිකම ත්, අයිතිවාසිකම් නැතිකම ත් ය.

2. නියත ආයුෂ ඇති බව ය.

3. විශේෂ දියුණුවීම් ඇති බව ය.

මහණෙනි, මේ තුන් කරුණෙන් උතුරු කුරු දිවයින්වාසී මිනිස්සු තව්තිසාවැසි දෙවියන් ද, දඹදිව්වැසි මිනිසුන් ද යටකොට ගෙන සිටිති.

මහණෙනි, තුන් කරුණකින් තව්තිසාවැසි දෙවියෝ උතුරු කුරු දිවයින්වාසී මිනිසුන් ද, දඹදිව්වැසි මිනිසුන් ද යටකොට ගෙන සිටිති. ඒ කවර කරුණු තුනකින් ද යත්;

1. දිව්‍ය වූ ආයුෂයෙන් ය.

2. දිව්‍ය වූ සිරුරු පැහැයෙන් ය.

3. දිව්‍ය වූ සැපයෙන් ය.

මහණෙනි, මේ තුන් කරුණෙන් තව්තිසාවැසි දෙවියෝ උතුරු කුරු දිවයින්වාසී මිනිසුන් ද, දඹදිව්වැසි මිනිසුන් ද යටකොට ගෙන සිටිති.

මහණෙනි, තුන් කරුණකින් දඹදිව්වැසි මිනිස්සු තව්තිසාවැසි දෙවියන් ද, උතුරු කුරු දිවයින්වාසී මිනිසුන් ද, යටකොට ගෙන සිටිති. ඒ කවර කරුණු තුනකින් ද යත්;

1. අතිදක්ෂ බැවින් ය.

2. සිහි ඇති බැවින් ය.

3. මෙහිදී ම බඹසරවාසය කිරීමෙන් ය.

මහණෙනි, මේ තුන් කරුණෙන් දඹදිව්වැසි මිනිස්සු තව්තිසාවැසි දෙවියන් ද, උතුරු කුරු දිවයින්වාසී මිනිසුන් ද, යටකොට ගෙන සිටිති.

සාදු! සාදු!! සාදු!!!

ඨාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M