මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එකල්හී සුතවා පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් සුතවා පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, එක් සමයක භාග්‍යවතුන් වහන්සේ මේ ගිරිබ්බජයෙහි රජගහ නුවර ම වැඩවසන සේක. එහිදී ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහිදී මෙසේ අසන ලද්දේ ය. පිළිගන්නා ලද්දේ ය. එනම් ‘සුතවායෙනි, යම් ඒ භික්ෂුවක් අරහත් වෙයි ද, ක්ෂීණාශ්‍රව වෙයි ද, බඹසර වාසය නිම කරන ලද්දේ වෙයි ද, කළ යුත්ත කරන ලද්දේ වෙයි ද, කෙලෙස් බර බහා තැබුවේ වෙයි ද, අනුපිළිවෙලින් පත් අරහත්වය ඇත්තේ වෙයි ද, භව සංයෝජන ක්ෂය කළේ වෙයි ද, මැනැවින් දැන නිදහස් වූයේ වෙයි ද, ඒ භික්ෂුව පස් කරුණක් ඉක්මවා යන්නට අසමර්ථ වෙයි. ක්ෂීණාශ්‍රව භික්ෂුව දැන දැන සතෙකුගේ දිවි තොර කරන්නට අසමර්ථ වෙයි. ක්ෂීණාශ්‍රව භික්ෂුව නුදුන් දෙයක් සොර සිතින් ගන්නට අසමර්ථ වෙයි. ක්ෂීණාශ්‍රව භික්ෂුව මෛථුන සේවනය කරන්නට අසමර්ථ වෙයි. ක්ෂීණාශ්‍රව භික්ෂුව දැන දැන බොරුවක් පවසන්නට අසමර්ථ වෙයි. ක්ෂීණාශ්‍රව භික්ෂුව යම් සේ කලින් ගිහි ජීවිතය ගත කරන ලද්දේ ද, ඒ අයුරින් එක් රැස් කොට තබාගෙන කාමයන් පරිභෝග කරන්නට අසමර්ථ වෙයි.’
කිම, ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ඒ කරුණ මනාකොට අසන ලද්දේ ද? මනාකොට ගන්නා ලද්දේ ද? මනාකොට මෙනෙහි කරන ලද්දේ ද? මනාකොට දරණ ලද්දේ ද?”
“සුතවායෙනි, ඒකාන්තයෙන් ම ඔබ විසින් එකරුණ මනාකොට අසන ලද්දේ ය. මනාකොට ගන්නා ලද්දේ ය. මනාකොට මෙනෙහි කරන ලද්දේ ය. මනාකොට දරණ ලද්දේ ය. සුතවායෙනි, කලිනුත් දැනුත් මම මෙසේ කියමි. යම් ඒ භික්ෂුවක් අරහත් වෙයි ද, ක්ෂීණාශ්‍රව වෙයි ද, බඹසර වාසය නිම කරන ලද්දේ වෙයි ද, කළ යුත්ත කරන ලද්දේ වෙයි ද, කෙලෙස් බර බහා තැබුවේ වෙයි ද, අනුපිළිවෙලින් පත් අරහත්වය ඇත්තේ වෙයි ද, භව සංයෝජන ක්ෂය කළේ වෙයි ද, මැනැවින් දැන නිදහස් වූයේ වෙයි ද, ඒ භික්ෂුව කරුණු නවයකින් ඉක්මවා යන්නට අසමර්ථ වෙයි. ක්ෂීණාශ්‍රව භික්ෂුව දැන දැන සතෙකුගේ දිවි තොර කරන්නට අසමර්ථ වෙයි. ක්ෂීණාශ්‍රව භික්ෂුව දුන් දෙයක් සොර සිතින් ගන්නට අසමර්ථ වෙයි. ක්ෂීණාශ්‍රව භික්ෂුව මෛථුන සේවනය කරන්නට අසමර්ථ වෙයි. ක්ෂීණාශ්‍රව භික්ෂුව දැන දැන බොරුවක් පවසන්නට අසමර්ථ වෙයි. ක්ෂීණාශ්‍රව භික්ෂුව යම් සේ කලින් ගිහි ජීවිතය ගත කරන ලද්දේ ද, ඒ අයුරින් එක් රැස් කොට තබාගෙන කාමයන් පරිභෝග කරන්නට අසමර්ථ වෙයි. ක්ෂීණාශ්‍රව භික්ෂුව බුදුරජුන් ප්‍රතික්ෂේප කරන්නට අසමර්ථ වෙයි. ක්ෂීණාශ්‍රව භික්ෂුව ධර්මය ප්‍රතික්ෂේප කරන්නට අසමර්ථ වෙයි. ක්ෂීණාශ්‍රව භික්ෂුව සංඝයා ප්‍රතික්ෂේප කරන්නට අසමර්ථ වෙයි. ක්ෂීණාශ්‍රව භික්ෂුව ශික්ෂාව ප්‍රතික්ෂේප කරන්නට අසමර්ථ වෙයි.
යම් ඒ භික්ෂුවක් අරහත් වෙයි ද, ක්ෂීණාශ්‍රව වෙයි ද, බඹසර වාසය නිම කරන ලද්දේ වෙයි ද, කළ යුත්ත කරන ලද්දේ වෙයි ද, කෙලෙස් බර බහා තැබුවේ වෙයි ද, අනුපිළිවෙලින් පත් අරහත්වය ඇත්තේ වෙයි ද, භව සංයෝජන ක්ෂය කළේ වෙයි ද, මැනැවින් දැන නිදහස් වූයේ වෙයි ද, ඒ අරහත් භික්ෂුව මේ කරුණු නවය ඉක්මවා යන්නට අසමර්ථ වේ යැයි සුතවායෙනි, කලිනුත් දැනුත් මම මෙසේ කියමි.
සාදු! සාදු!! සාදු!!!
සුතවාපරිබ්බාජක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M