අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.1.1. සම්බෝධිපක්ඛිය සුත්තං

9.1.1.1. සත්‍යාවබෝධයට අයත් ධර්මය ගැන වදාළ දෙසුම

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි කියා භික්ෂූන් අමතා වදාළ සේක. “පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ඉදින් මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ විමසත් නම්, එනම් ‘ආයුෂ්මත්නි, සත්‍යාවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගැනීමට උපකාර වන්නේ කුමක් ද?’ කියා, මහණෙනි, මෙසේ විමසන ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් හට ඔබ කුමන පිළිතුරක් දෙන්නහු ද?”

“ස්වාමීනී, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහු ය. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන කොට ඇත්තාහු ය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහු ය. ස්වාමීනී, මේ වදාළ කරුණෙහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහෙන සේක් නම් යහපති. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහු ය.”

“එසේ වී නම් මහණෙනි, අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ඉදින් මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ අසත් නම්, එනම් ‘ආයුෂ්මත්නි, සත්‍යාවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගැනීමට උපකාර වන්නේ කුමක් ද?’ කියා, මහණෙනි, මෙසේ විමසන ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් හට මෙසේ පිළිතුරු දෙව්.

1. ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුව කළණ මිතුරන් ඇත්තේ වෙයි. කළණ යහළුවන් ඇත්තේ වෙයි. කළණ මිතුරන් ඇසුරට නැඹුරු වූයේ වෙයි. ආයුෂ්මත්නි, සත්‍යාවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගැනීමට උපකාර වන පළමු කරුණ මෙය යි.

2. තව ද ආයුෂ්මත්නි, භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි. ආයුෂ්මත්නි, සත්‍යාවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගැනීමට උපකාර වන දෙවෙනි කරුණ මෙය යි.

3. තව ද ආයුෂ්මත්නි, භික්ෂුව කෙලෙස් පතුරු ගැලවී යන, සමථ විදර්ශනා භාවනා සිතට උපකාරී වන යම් ඒ කථාවක් ඇද්ද, එනම්, අල්පේච්ඡ බව ගැන කථා කිරීම, ලද දෙයින් සතුටු වීම ගැන කථා කිරීම, හුදෙකලා විවේකය ගැන කථා කිරීම, නොඇලී සිටීම ගැන කථා කිරීම, වීරිය පටන් ගැනීම ගැන කථා කිරීම, සීලය ගැන කථා කිරීම, සමාධිය ගැන කථා කිරීම, ප්‍රඥාව ගැන කථා කිරීම, විමුක්තිය ගැන කථා කිරීම, විමුක්ති ඥාන දර්ශනය ගැන කථා කිරීම ය. මෙබඳු වූ කථාව කැමති සේ ලබන්නේ වෙයි. නිදුකින් ලබන්නේ වෙයි. විපුල සේ ලබන්නේ වෙයි. ආයුෂ්මත්නි, සත්‍යාවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගැනීමට උපකාර වන තුන්වෙනි කරුණ මෙය යි.

4. තව ද ආයුෂ්මත්නි, භික්ෂුව පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙයි. ආයුෂ්මත්නි, සත්‍යාවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගැනීමට උපකාර වන සිව්වෙනි කරුණ මෙය යි.

5. තව ද ආයුෂ්මත්නි, භික්ෂුව ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආයුෂ්මත්නි, සත්‍යාවබෝධයට අයත් වූ ධර්මයන් දියුණු කරගැනීමට උපකාර වන පස්වෙනි කරුණ මෙය යි.

මහණෙනි, කළණ මිතුරන් ඇති, කළණ යහළුවන් ඇති, කළණ මිතුරන්ගේ ඇසුරට වැටුණු භික්ෂුව විසින් මෙය කැමති විය යුත්තේ ය. සිල්වත් වන්නේ ය, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වන්නේ ය, යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වසන්නේ ය, අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ ය යන කරුණ යි.

මහණෙනි, කළණ මිතුරන් ඇති, කළණ යහළුවන් ඇති, කළණ මිතුරන්ගේ ඇසුරට වැටුණු භික්ෂුව විසින් මෙය කැමති විය යුත්තේ ය. කෙලෙස් පතුරු ගැලවී යන, සමථ විදර්ශනා භාවනා සිතට උපකාරී වන යම් ඒ කථාවක් ඇද්ද, එනම්, අල්පේච්ඡ බව ගැන කථා කිරීම, ….(පෙ)…. මෙබඳු වූ කථාව කැමති සේ ලබන්නේ ය, නිදුකින් ලබන්නේ ය, විපුල සේ ලබන්නේ ය යන කරුණ යි.

මහණෙනි, කළණ මිතුරන් ඇති, කළණ යහළුවන් ඇති, කළණ මිතුරන්ගේ ඇසුරට වැටුණු භික්ෂුව විසින් මෙය කැමති විය යුත්තේ ය. පටන් ගත් වීරිය ඇත්තේ වන්නේ ය, අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වන්නේ ය, දැඩි පරාක්‍රමයෙන් යුතු වන්නේ ය, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වන්නේ ය යන කරුණ යි.

මහණෙනි, කළණ මිතුරන් ඇති, කළණ යහළුවන් ඇති, කළණ මිතුරන්ගේ ඇසුරට වැටුණු භික්ෂුව විසින් මෙය කැමති විය යුත්තේ ය. ප්‍රඥාවන්ත වන්නේ ය, හටගැනීම ත් නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වන්නේ ය, ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වන්නේ ය යන කරුණ යි.

මහණෙනි, ඒ භික්ෂුව විසින් මේ පංච ධර්මය මත පිහිටා වැඩිදුරට ත් ධර්මයන් සතරක් වැඩිය යුත්තේ ය.

6. රාගය ප්‍රහාණය කිරීමට අසුභය වැඩිය යුත්තේ ය.

7. ද්වේෂය ප්‍රහාණය කිරීමට මෛත්‍රිය වැඩිය යුත්තේ ය.

8. අනවශ්‍ය විතර්ක නැසීමට ආනාපානසතිය වැඩිය යුත්තේ ය.

9. ‘මම වෙමි’ යි යන මාන්නය මුලින් ම නැසීමට අනිත්‍ය සංඥාව වැඩිය යුත්තේ ය. මහණෙනි, අනිත්‍ය සංඥාව වඩන භික්ෂුව හට අනාත්ම සංඥාව පිහිටයි. අනාත්ම සංඥාව ඇති භික්ෂුවගේ සිත අස්මිමානය මුළුමනින් ම නැසීමට යයි. මෙලොවදී ම නිවනට පැමිණෙයි.

සාදු! සාදු!! සාදු!!!

සම්බෝධිපක්ඛිය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M