අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.2.3.2. දුතිය සමන්තපාසාදික සුත්තං

8.2.3.2. හැම අයුරින් පැහැදීම ඇති කරන දේ ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, භික්ෂුව සැදැහැවත් වෙයි. සිල්වත් නොවෙයි. මෙසේ ඔහු ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි. ‘මම කවර අයුරින් සැදැහැවතෙක් ද, සිල්වතෙක් ද වෙම් දැ’ යි ඔහු විසින් ඒ අංගය සම්පූර්ණ කළ යුත්තේ ය. යම් කලක මහණෙනි, භික්ෂුව සැදැහැවත් ද, සිල්වත් ද වෙයි නම්, මෙසේ හේ ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වෙයි.

මහණෙනි, භික්ෂුව සැදැහැවත් ද වෙයි. සිල්වත් ද වෙයි. එනමුදු බහුශ්‍රැත නොවෙයි. ….(පෙ)…. බහුශ්‍රැතයෙක් ද වෙයි. එනමුදු ධර්ම කථිකයෙක් නොවෙයි. ….(පෙ)…. ධර්ම කථිකයෙක් ද වෙයි. පිරිස අතර හැසිරෙන්නෙක් නොවෙයි. ….(පෙ)…. පිරිස අතර හැසිරෙන්නෙක් ද වෙයි. විශාරද ව පිරිසට දහම් නොදෙසයි ….(පෙ)…. විශාරද ව පිරිසට දහම් දෙසන්නේ ද වෙයි. එනමුදු රූප ධ්‍යානයන් ඉක්මවා අරූප වූ යම් ඒ ශාන්ත විමෝක්ෂයන් ඇද්ද, ඒවා කයින් ස්පර්ශ කොට වාසය නොකරන්නේ වෙයි. ….(පෙ)…. රූප ධ්‍යානයන් ඉක්මවා අරූප වූ යම් ඒ ශාන්ත විමෝක්ෂයන් ඇද්ද, ඒවා කයින් ස්පර්ශ කොට වාසය කරන්නේ වෙයි. එනමුත් ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය නොකරන්නේ වෙයි. මෙසේ ඔහු ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි.

‘මම කවර අයුරින් සැදැහැවතෙක් ද, සිල්වතෙක් ද, බහුශ්‍රැතයෙක් ද, ධර්ම කථිකයෙක් ද, පිරිසෙහි හැසිරෙන්නෙක් ද, විශාරද ව පිරිසට දහම් දෙසන්නෙක් ද, රූප ධ්‍යානයන් ඉක්මවා අරූප වූ යම් ඒ ශාන්ත විමෝක්ෂයන් ඇද්ද, ඒවා කයින් ස්පර්ශ කොට වාසය කරන්නෙක් ද, ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නෙක් ද වෙම් දැ’ යි ඔහු විසින් ඒ අංගය සම්පූර්ණ කළ යුත්තේ ය.

යම් කලක මහණෙනි, භික්ෂුව සැදැහැවත් ද, සිල්වත් ද, බහුශ්‍රැතයෙක් ද, ධර්ම කථිකයෙක් ද, පිරිසෙහි හැසිරෙන්නෙක් ද, විශාරද ව පිරිසට දහම් දෙසන්නෙක් ද, රූප ධ්‍යානයන් ඉක්මවා අරූප වූ යම් ඒ ශාන්ත විමෝක්ෂයන් ඇද්ද, ඒවා කයින් ස්පර්ශ කොට වාසය කරන්නෙක් ද, ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරන්නෙක් ද වෙයි නම්, මෙසේ හේ ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වෙයි.

මහණෙනි, මේ අංග අටෙන් සමන්විත වූ භික්ෂුව හැම අයුරින් ම පැහැදීම ඇති කරවන්නේ ද වෙයි. සියළු ආකාරයෙන් සම්පූර්ණ ද වෙයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය සමන්තපාසාදික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M