අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.2.3.10. කුසීතාරම්භවත්ථු සුත්තං

8.2.3.10. කුසීත බවට හා පටන් ගත් වීරිය ඇති බවට මුල්වෙන කරුණු ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ කුසීත බවට මුල්වෙන කරුණු අටකි. ඒ කවර අටක් ද යත්;

1. මහණෙනි, මෙහිලා භික්ෂුව විසින් කළ යුතු කිසියම් කටයුත්තක් ඇත්තේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මා විසින් මේ කටයුත්ත කළ යුතු වන්නේ නොවැ. මේ වැඩය කරන කල්හී මාගේ ශරීරය ක්ලාන්ත වනු ඇත. එහෙයින් මම එයට පෙර නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මහණෙනි, මෙය කුසීත බවට මුල් වන පළමු කරුණ යි.

2. තව ද මහණෙනි, භික්ෂුව විසින් කිසියම් කටයුත්තක් කරන ලද්දේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම මේ කටයුත්ත කළෙමි. මේ වැඩය කරන කල්හී මාගේ ශරීරය ක්ලාන්ත වී ගියේ නොවැ. එහෙයින් මම දැන් නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මහණෙනි, මෙය කුසීත බවට මුල් වන දෙවෙනි කරුණ යි.

3. තව ද මහණෙනි, භික්ෂුව විසින් යා යුතු කිසියම් ගමනක් ඇත්තේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මා විසින් මේ ගමන යා යුතු වන්නේ නොවැ. මේ ගමන යන කල්හී මාගේ ශරීරය ක්ලාන්ත වනු ඇත. එහෙයින් මම එයට පෙර නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මහණෙනි, මෙය කුසීත බවට මුල් වන තුන්වෙනි කරුණ යි.

4. තව ද මහණෙනි, භික්ෂුව විසින් කිසියම් ගමනක් ගියේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම මේ ගමන ගියෙමි. මේ ගමන යන කල්හී මාගේ ශරීරය ක්ලාන්ත වී ගියේ නොවැ. එහෙයින් මම දැන් නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මහණෙනි, මෙය කුසීත බවට මුල් වන සිව්වෙනි කරුණ යි.

5. තව ද මහණෙනි, භික්ෂුව ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස යයි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර නොලැබුණේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස ගියෙමි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර නොලැබුණේ නොවැ. ඒ මාගේ ශරීරය ක්ලාන්ත වී ඇත. මම කිසිවක් කරගත නොහැක්කෙමි. එහෙයින් මම නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මහණෙනි, මෙය කුසීත බවට මුල් වන පස්වෙනි කරුණ යි.

6. තව ද මහණෙනි, භික්ෂුව ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස යයි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාරලැබුණේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස ගියෙමි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර ලැබුණේ නොවැ. එහෙයින් මාගේ ශරීරයෙහි බර ගතියක් ඇත. මම කිසිවක් කරගත නොහැක්කෙමි. මෑ ඇට වැළඳූ කලක සෙයින් හැඟෙයි. එහෙයින් මම නිදා ගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මහණෙනි, මෙය කුසීත බවට මුල් වන සයවෙනි කරුණ යි.

7. තව ද මහණෙනි, භික්ෂුවට ස්වල්ප වූ ආබාධයක් උපන්නේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මට මේ ස්වල්ප වූ ආබාධයක් උපන්නේ නොවැ. හාන්සි වී සිටින්නට අදහස ඇත. එහෙයින් මම නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මහණෙනි, මෙය කුසීත බවට මුල් වන සත්වෙනි කරුණ යි.

8. තව ද මහණෙනි, භික්ෂුව ගිලන් බවින් නැගී සිටියේ වෙයි. ගිලන් බවින් නැගිට වැඩිකල් ඇත්තේ නොවෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගිලන් බවින් නැගී සිටියේ වෙමි. ගිලන් බවින් නැගිට වැඩිකල් ඇත්තේ නොවෙමි. එහෙයින් මගේ කය දුර්වල නොවැ. කිසි කටයුත්තකට නොනැමෙයි. එහෙයින් මම නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මහණෙනි, මෙය කුසීත බවට මුල් වන අටවෙනි කරුණ යි.

මහණෙනි, මේ වනාහී කුසීත බවට මුල්වෙන කරුණු අට යි.

මහණෙනි, මේ වීරිය පටන් ගැනීමට මුල්වෙන කරුණු අටකි. ඒ කවර අටක් ද යත්;

1. මහණෙනි, මෙහිලා භික්ෂුව විසින් කළ යුතු කිසියම් කටයුත්තක් ඇත්තේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මා විසින් මේ කටයුත්ත කළ යුතු වන්නේ නොවැ. මේ වැඩය කරන කල්හී මා හට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට පහසු නොවෙයි. එහෙයින් මම කලින් ම නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මහණෙනි, මෙය වීරිය පටන් ගැනීමට මුල් වන පළමු කරුණ යි.

2. තව ද මහණෙනි, භික්ෂුව විසින් කිසියම් කටයුත්තක් කරන ලද්දේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම මේ කටයුත්ත කළෙමි. මේ වැඩය කරන කල්හී මට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට බැරි වූයේ නොවැ. එහෙයින් මම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මහණෙනි, මෙය වීරිය පටන් ගැනීමට මුල් වන දෙවෙනි කරුණ යි.

3. තව ද මහණෙනි, භික්ෂුව විසින් යා යුතු කිසියම් ගමනක් ඇත්තේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මා විසින් මේ ගමන යා යුතු වන්නේ නොවැ. මේ ගමන යන කල්හී මා හට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට පහසු නොවෙයි. එහෙයින් මම කලින් ම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මහණෙනි, මෙය වීරිය පටන් ගැනීමට මුල් වන තුන්වෙනි කරුණ යි.

4. තව ද මහණෙනි, භික්ෂුව කිසියම් ගමනක් ගියේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම මේ ගමන ගියෙමි. මේ ගමන ගිය නිසාවෙන් මා හට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට බැරි වූයේ නොවැ. එහෙයින් මම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මහණෙනි, මෙය වීරිය පටන් ගැනීමට මුල් වන සිව්වෙනි කරුණ යි.

5. තව ද මහණෙනි, භික්ෂුව ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස යයි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර නොලැබුණේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස ගියෙමි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර නොලැබුණේ නොවැ. ඒ මාගේ ශරීරය සැහැල්ලු වී ඇත. මම යමක් කරගත හැක්කෙමි. එහෙයින් මම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මහණෙනි, මෙය වීරිය පටන් ගැනීමට මුල් වන පස්වෙනි කරුණ යි.

6. තව ද මහණෙනි, භික්ෂුව ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස යයි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර ලැබුණේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස ගියෙමි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර ලැබුණේ නොවැ. එහෙයින් මාගේ ශරීරයෙහි සවිබල ඇත. මම කිසිවක් කරගත හැක්කෙමි. එහෙයින් මම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මහණෙනි, මෙය වීරිය පටන් ගැනීමට මුල් වන සයවෙනි කරුණ යි.

7. තව ද මහණෙනි, භික්ෂුවට ස්වල්ප වූ ආබාධයක් උපන්නේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මට මේ ස්වල්ප වූ ආබාධයක් උපන්නේ නොවැ. මේ ආබාධය වැඩිවෙයි නම්, එබඳු දෙයකට කරුණු ද පෙනෙයි. ආබාධය වැඩි වූ කල්හී බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට පහසු නොවෙයි. එහෙයින් මම කලින් ම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මහණෙනි, මෙය වීරිය පටන් ගැනීමට මුල් වන සත්වෙනි කරුණ යි.

8. තව ද මහණෙනි, භික්ෂුව ගිලන් බවින් නැගී සිටියේ වෙයි. ගිලන් බවින් නැගිට වැඩිකල් ඇත්තේ නොවෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගිලන් බවින් නැගී සිටියේ වෙමි. ගිලන් බවින් නැගිට වැඩිකල් ඇත්තේ නොවෙමි. මේ ආබාධය නැවත ත් හටගන්නට ඇති ඉඩකඩ පෙනෙයි. ආබාධිත වූ කල්හී බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට පහසු නොවෙයි. එහෙයින් මම කලින් ම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මහණෙනි, මෙය වීරිය පටන් ගැනීමට මුල් වන අටවෙනි කරුණ යි.

මහණෙනි, මේ වනාහී වීරිය පටන් ගැනීමට මුල්වෙන කරුණු අට යි.

සාදු! සාදු!! සාදු!!!

කුසීතාරම්භවත්ථු සූත්‍රය නිමා විය.

තුන්වෙනි යමක වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

සද්ධා සූත්‍ර දෙක ය, මරණසති සූත්‍ර දෙක ය, සම්පදා සූත්‍ර දෙක ය, ඉච්ඡා සූත්‍රය, අලං සූත්‍රය, පරිහානි සූත්‍රය සහ කුසීතාරම්භවත්ථු සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M