අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.2.2.9. පරිස සුත්තං

8.2.2.9. පිරිස ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ පිරිස් අටකි. ඒ කවර අටක් ද යත්,

ක්ෂත්‍රිය පිරිස ය. බ්‍රාහ්මණ පිරිස ය. ගෘහපති පිරිස ය. ශ්‍රමණ පිරිස ය. චාතුම්මහාරාජික පිරිස ය. තව්තිසා පිරිස ය. මාර පිරිස ය. බ්‍රහ්ම පිරිස ය.

මහණෙනි, මම නොයෙක් සිය ගණන් ක්ෂත්‍රිය පිරිස් වෙත එළඹුණු බව දනිමි. එහිදී මා විසින් ඔවුන් හා වාඩි වී සිටි විරූ ය. කතා බස් කළ විරූ ය. සාකච්ඡාවන්ට පැමිණි විරූ ය. එහිදී ඔවුන්ගේ යම්බඳු වර්ණයක් වෙයි ද, මාගේ එබඳු වර්ණයක් වෙයි. ඔවුන්ගේ යම්බඳු ස්වරයක් වෙයි ද, මාගේ එබඳු ස්වරයක් වෙයි. දැහැමි කථාවෙන් ඔවුන්ට කරුණු දක්වමි. සමාදන් කරවමි. උත්සාහවත් කරවමි. සතුටු කරවමි. ඔවුන් සමඟ කතා කරන මාව මේ කතා කරන්නේ කවර වූ දෙවියෙක් ද? කවර වූ මිනිසෙක් ද? යි නොදනිති. දැහැමි කතාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උත්සාහවත් කරවා, සතුටු කරවා නොපෙනී යමි. නොපෙනී ගිය කල්හි ත් නොපෙනී ගියේ කවර වූ දෙවියෙක් ද? කවර වූ මිනිසෙක් දැයි මාව නොදනිති.

මහණෙනි, මම නොයෙක් සිය ගණන් බ්‍රාහ්මණ පිරිස ….(පෙ)…. ගෘහපති පිරිස ….(පෙ)…. ශ්‍රමණ පිරිස ….(පෙ)…. චාතුම්මහාරාජික පිරිස ….(පෙ)…. තව්තිසා පිරිස ….(පෙ)…. මාර පිරිස ….(පෙ)…. බ්‍රහ්ම පිරිස් වෙත එළඹුණු බව දනිමි. එහිදී මා විසින් ඔවුන් හා වාඩි වී සිටි විරූ ය. කතා බස් කළ විරූ ය. සාකච්ඡාවන්ට පැමිණි විරූ ය. එහිදී ඔවුන්ගේ යම්බඳු වර්ණයක් වෙයි ද, මාගේ එබඳු වර්ණයක් වෙයි. ඔවුන්ගේ යම්බඳු ස්වරයක් වෙයි ද, මාගේ එබඳු ස්වරයක් වෙයි. දැහැමි කථාවෙන් ඔවුන්ට කරුණු දක්වමි. සමාදන් කරවමි. උත්සාහවත් කරවමි. සතුටු කරවමි. ඔවුන් සමඟ කතා කරන මාව මේ කතා කරන්නේ කවර වූ දෙවියෙක් ද? කවර වූ මිනිසෙක් ද? යි නොදනිති. දැහැමි කතාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උත්සාහවත් කරවා, සතුටු කරවා නොපෙනී යමි. නොපෙනී ගිය කල්හි ත් නොපෙනී ගියේ කවර වූ දෙවියෙක් ද? කවර වූ මිනිසෙක් දැයි මාව නොදනිති.

මහණෙනි, මේ වනාහී අට පිරිස යි.

සාදු! සාදු!! සාදු!!!

පරිස සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M