එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවෙසෙන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන විශාලා මහනුවරට පිඬු පිණිස පිවිසි සේක. විශාලා මහනුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු සේක් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.
“ආනන්දයෙනි, පත්කඩය ගනුව. චාපාල සෑය වෙත දිවා විහරණය පිණිස යම්හ.”
“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපසින් පිටත් වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල සෑය වෙත එළඹ පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහිඳ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසූ සේක.
“ආනන්දයෙනි, විශාලා මහනුවර මනහර ය. උදේනි සෑය මනහර ය. ගෝතමක සෑය මනහර ය. සත්තම්බක සෑය මනහර ය. බහුපුත්තක සෑය මනහර ය. සාරන්දද සෑය මනහර ය. චාපාල සෑය මනහර ය. ආනන්දයෙනි, යම් කිසිවෙකු විසින් සතර ඉර්ධිපාදයන් දියුණු කොට, බහුල ව ප්‍රගුණ කොට, නැග යා හැකි යානාවක් මෙන් කොට, සිටිය හැකි තැනක් මෙන් කොට, මැනැවින් පවත්වා, මැනැවින් දියුණු කොට, මැනැවින් අරඹන ලදු ව ඇත්නම්, ඔහු කැමති නම් ආනන්දයෙනි, කල්පයක් හෝ කල්පයට වැඩියෙනුත් සිටින්නේ ය.
ආනන්දයෙනි, තථාගතයන් විසිනුත් සතර ඉර්ධිපාදයන් දියුණු කොට, බහුල ව ප්‍රගුණ කොට, නැග යා හැකි යානාවක් මෙන් කොට, සිටිය හැකි තැනක් මෙන් කොට, මැනැවින් පවත්වා, මැනැවින් දියුණු කොට, මැනැවින් අරඹන ලද හෙයින් ආනන්දයෙනි, තථාගතයෝ කැමති නම් කල්පයක් හෝ කල්පයට වැඩියෙනුත් සිටිය හැක්කෝ ය.”
මෙසේ ත් භාග්‍යවතුන් වහන්සේ විසින් ගොරෝසු නිමිති පවසන කල්හී, ගොරෝසු එළියක් පෙන්වන කල්හී ද ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ එය වටහා ගන්නට අසමත් වූහ.
‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, දෙවි මිනිසුන්ට යහපත හිතසුව පිණිස, ලෝකානුකම්පාවෙන් කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, කල්පයක් වැඩසිටින සේක්වා!’ වශයෙන් භාග්‍යවතුන් වහන්සේට ඇරයුම් නොකළහ. මාරයා විසින් යටපත් කරන ලද සිතක් ඇත්තෙකු පරිද්දෙනි.
දෙවෙනි වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. තෙවෙනි වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසූ සේක.
“ආනන්දයෙනි, විශාලා මහනුවර මනහර ය. උදේනි සෑය මනහර ය. ගෝතමක සෑය මනහර ය. සත්තම්බක සෑය මනහර ය. බහුපුත්තක සෑය මනහර ය. සාරන්දද සෑය මනහර ය. චාපාල සෑය මනහර ය. ආනන්දයෙනි, යම් කිසිවෙකු විසින් සතර ඉර්ධිපාදයන් දියුණු කොට, බහුල ව ප්‍රගුණ කොට, නැග යා හැකි යානාවක් මෙන් කොට, සිටිය හැකි තැනක් මෙන් කොට, මැනැවින් දියුණු කොට, මැනැවින් අරඹන ලදු ව ඇත්නම්, ඔහු කැමති නම් ආනන්දයෙනි, කල්පයක් හෝ කල්පයට වැඩියෙනුත් සිටින්නේ ය.
ආනන්දයෙනි, තථාගතයන් විසිනුත් සතර ඉර්ධිපාදයන් දියුණු කොට, බහුල ව ප්‍රගුණ කොට, නැග යා හැකි යානාවක් මෙන් කොට, සිටිය හැකි තැනක් මෙන් කොට, මැනැවින් පවත්වා, මැනැවින් දියුණු කොට, මැනැවින් අරඹන ලද හෙයින් ආනන්දයෙනි, තථාගතයෝ කැමති නම් කල්පයක් හෝ කල්පයට වැඩියෙනුත් සිටිය හැක්කෝ ය.”
මෙසේ ත් භාග්‍යවතුන් වහන්සේ විසින් ගොරෝසු නිමිති පවසන කල්හී, ගොරෝසු එළියක් පෙන්වන කල්හී ද ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ එය වටහා ගන්නට අසමත් වූහ.
‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, දෙවි මිනිසුන්ට යහපත හිතසුව පිණිස, ලෝකානුකම්පාවෙන් කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, කල්පයක් වැඩසිටින සේක්වා!’ වශයෙන් භාග්‍යවතුන් වහන්සේට ඇරයුම් නොකළහ. මාරයා විසින් යටපත් කරන ලද සිතක් ඇත්තෙකු පරිද්දෙනි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.
“ආනන්දයෙනි, ඔබ දැන් යමකට කල් දන්නෙහි නම් යව.”
“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේට නුදුරින් එක්තරා රුක් සෙවණක හිඳගත්හ.
ඉක්බිති පවිටු මාර තෙමේ ආයුෂ්මත් ආනන්දයන් බැහැරට ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්ස, පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවීමට කාලය යි. ස්වාමීනී, මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. එනම්, ‘මාරය, යම්තාක් මාගේ භික්ෂු ශ්‍රාවකයෝ ව්‍යක්ත නොවෙත් ද, විනීත නොවෙත් ද, විශාරද නොවෙත් ද, නිවනට පැමිණුනාහු නොවෙත් ද, බහුශ්‍රැත නොවෙත් ද, ධර්මධර නොවෙත් ද, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන්නාහු නොවෙත් ද, සාමීචිප්‍රතිපදාවෙහි පිළිපන්නාහු නොවෙත් ද, අනුධර්මචාරී නොවෙත් ද, සිය ආචාර්යවාදය උගෙන නොකියන්නාහු ද, දේශනා නොකරන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, බෙදා නොදක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් අන්‍ය වාදයන් කරුණු සහිත ව මැනැවින් නිග්‍රහ කොට ප්‍රාතිහාර්යය සහිත ව ධර්මය දේශනා නොකරන්නාහු ද, ඒ තාක් මම පිරිනිවන් නොපාන්නෙමි’ යන වචනය යි.
ස්වාමීනී, මෙකල්හී භාග්‍යවතුන් වහන්සේගේ භික්ෂු ශ්‍රාවකයෝ ව්‍යක්ත වෙති. විනීත වෙති. විශාරද වෙති. නිවනට පැමිණුනාහු වෙති. බහුශ්‍රැත වෙති. ධර්මධර වෙති. ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන්නාහු වෙති. සාමීචිප්‍රතිපදාවෙහි පිළිපන්නාහු වෙති. අනුධර්මචාරී වෙති. සිය ආචාර්යවාදය උගෙන කියති. දේශනා කරති. පණවති. පිහිටුවති. විවෘත කරති. බෙදා දක්වති. ඉස්මතු කරති. උපන් අන්‍ය වාදයන් කරුණු සහිත ව මැනැවින් නිග්‍රහ කොට ප්‍රාතිහාර්යය සහිත ව ධර්මය දේශනා කරති.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්ස, පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවීමට කාලය යි.
ස්වාමීනී, මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. එනම්, ‘මාරය, යම්තාක් මාගේ භික්ෂුණී ශ්‍රාවිකාවෝ ….(පෙ)…. මාගේ උපාසක ශ්‍රාවකයෝ ….(පෙ)…. යම්තාක් මාගේ උපාසිකා ශ්‍රාවිකාවෝ ව්‍යක්ත නොවෙත් ද, විනීත නොවෙත් ද, විශාරද නොවෙත් ද, නිවනට පැමිණුනාහු නොවෙත් ද, බහුශ්‍රැත නොවෙත් ද, ධර්මධර නොවෙත් ද, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන්නාහු නොවෙත් ද, සාමීචිප්‍රතිපදාවෙහි පිළිපන්නාහු නොවෙත් ද, අනුධර්මචාරී නොවෙත් ද, සිය ආචාර්යවාදය උගෙන නොකියන්නාහු ද, දේශනා නොකරන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, බෙදා නොදක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් අන්‍ය වාදයන් කරුණු සහිත ව මැනැවින් නිග්‍රහ කොට ප්‍රාතිහාර්යය සහිත ව ධර්මය දේශනා නොකරන්නාහු ද, ඒ තාක් පිරිනිවන් නොපාන්නෙමි’ යන වචනය යි.
ස්වාමීනී, මෙකල්හී භාග්‍යවතුන් වහන්සේගේ උපාසිකා ශ්‍රාවිකාවෝ ව්‍යක්ත වෙති. විනීත වෙති. විශාරද වෙති. නිවනට පැමිණුනාහු වෙති. බහුශ්‍රැත වෙති. ධර්මධර වෙති. ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිළිපන්නාහු වෙති. සාමීචිප්‍රතිපදාවෙහි පිළිපන්නාහු වෙති. අනුධර්මචාරී වෙති. සිය ආචාර්යවාදය උගෙන කියති. දේශනා කරති. පණවති. පිහිටුවති. විවෘත කරති. බෙදා දක්වති. ඉස්මතු කරති. උපන් අන්‍ය වාදයන් කරුණු සහිත ව මැනැවින් නිග්‍රහ කොට ප්‍රාතිහාර්යය සහිත ව ධර්මය දේශනා කරති.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්ස, පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවීමට කාලය යි.
ස්වාමීනී, මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය. ‘මාරය, යම්තාක් මාගේ මේ නිවන් මග සමෘද්ධිමත් නොවෙයි ද, දියුණු නොවෙයි ද, පැතිරුණේ නොවෙයි ද, බොහෝ දෙනා අතර ප්‍රකට වූයේ නොවෙයි ද, පෘථුල භාවයට පත්වූයේ නොවෙයි ද, දෙවි මිනිසුන් අතර මැනැවින් ප්‍රසිද්ධ වූයේ නොවෙයි ද, ඒ තාක් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි.
ස්වාමීනී, මෙකල්හී භාග්‍යවතුන් වහන්සේගේ නිවන් මග සමෘද්ධිමත් වෙයි. දියුණු වෙයි. පැතිරුණේ වෙයි. බොහෝ දෙනා අතර ප්‍රකට වූයේ වෙයි. පෘථුල භාවයට පත්වූයේ වෙයි. දෙවි මිනිසුන් අතර මැනැවින් ප්‍රසිද්ධ වූයේ වෙයි.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්ස, පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවීමට කාලය යි.”
“මාරය, ඔබ අල්ප උත්සාහයෙන් සිටුව. තථාගතයන්ගේ පරිනිර්වාණය වැඩිකල් නොයා සිදුවන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවී යන්නාහු ය.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල සෑයෙහි දී මනා සිහියෙන් යුතුව, නුවණින් යුතුව කල්පයක් වැඩසිටිය හැකි ආයු සංස්කාරය අත්හළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුසංස්කාරය අත්හළ කල්හී මහත් වූ පෘථිවි චලනයක් වූයේ ය. බිහිසුණු වූ ලොමු දහගැනීමක් වූයේ ය. අහස ගුගුරා වැහි පොද වැටුණේ ය. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය දැන ඒ වේලාවෙහි මෙම උදානය පහළ කළ සේක.
(ගාථාවකි)
ආධ්‍යාත්මයෙහි වූ නිවනෙහි ඇලුනු සිත් ඇති, එකඟ වූ සිත් ඇති, ශාක්‍ය මුනීන්ද්‍රයාණෝ හටගත් තුල්‍ය වූ අතුල්‍ය වූ භව සංස්කාරයන් අත්හළ සේක. තමන් වහන්සේ තුළ පැවති කල්පයක් වැඩසිටීමෙහි ආයුසංස්කාරය යුද ඇඳුමක් බිඳින පරිද්දෙන් බිඳ හළ සේක.
එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය.
‘ඒකාන්තයෙන් මේ මහා භූමි සැලීමක් නොවැ. ඒකාන්තයෙන් ඉතා මහත් වූ භූමි සැලීමක් නොවැ. බිහිසුණු වූ ලොමු දහගැනීමක් නොවැ. අහස ගුගුරා වැසි බිඳු වැටීමක් නොවැ. මේ මහා භූමි චලනයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?’
ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
“ස්වාමීනී, ඒකාන්තයෙන් මේ මහා භූමි සැලීමක් නොවැ. ඒකාන්තයෙන් ඉතා මහත් වූ භූමි සැලීමක් නොවැ. බිහිසුණු වූ ලොමු දහගැනීමක් නොවැ. අහස ගුගුරා වැසි බිඳු වැටීමක් නොවැ. ස්වාමීනී, මේ මහා භූමි චලනයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”
“ආනන්දයෙනි, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේ කරුණු අටක් හේතු වෙයි. ප්‍රත්‍යය වෙයි. ඒ කවර අටක් ද යත්,
1. ආනන්දයෙනි, මේ මහා පෘථිවිය ජලයෙහි පිහිටියේ ය. ජලය වාතයෙහි පිහිටියේ ය. වාතය ආකාසයෙහි පිහිටියේ ය. ආනන්දයෙනි, යම් කරුණකින් මහා වාතයෝ හමත් නම් එබඳු කලක් වෙයි. මහා වාතයෝ හමද්දී ජලය කම්පා වෙයි. කම්පනය වූ ජලය පෘථිවිය සොළවයි. ආනන්දයෙනි, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේ පළමු හේතුව වෙයි. පළමු ප්‍රත්‍යය වෙයි.
2. තව ද ආනන්දයෙනි, ඉර්ධිමත් වූ චිත්ත වශීප්‍රාප්ත වූ ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, මහත් ඉර්ධිමත් වූ මහත් ආනුභාව ඇති දෙවියෙක් වේවා, සිටියි ද, ඔහු විසින් පෘථිවි සංඥාව ස්වල්ප වශයෙන් වඩන ලද්දේ වෙයි. ජල සංඥාව අප්‍රමාණ කොට වඩන ලද්දේ වෙයි. ඔහු මේ පෘථිවිය සොළවයි. හාත්පසින් සොළොවයි. බලවත් ව සොළොවයි. ආනන්දයෙනි, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේ දෙවෙනි හේතුව වෙයි. දෙවෙනි ප්‍රත්‍යය වෙයි.
3. තව ද ආනන්දයෙනි, යම් කලක බෝසත් තෙමේ තුසිත දෙව්ලොවින් චුත ව මනා සිහි නුවණින් යුතුව මව් කුසෙහි බැසගන්නේ වෙයි ද, එකල්හී මේ පොළොව සෙළවෙයි. හාත්පසින් සෙළවෙයි. බලවත් ව සෙළවෙයි. ආනන්දයෙනි, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේ තුන්වෙනි හේතුව වෙයි. තුන්වෙනි ප්‍රත්‍යය වෙයි.
4. තව ද ආනන්දයෙනි, යම් කලක බෝසත් තෙමේ මනා සිහි නුවණින් යුතුව මව් කුසින් නික්මෙන්නේ වෙයි ද, එකල්හී මේ පොළොව සෙළවෙයි. හාත්පසින් සෙළවෙයි. බලවත් ව සෙළවෙයි. ආනන්දයෙනි, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේ සිව්වෙනි හේතුව වෙයි. සිව්වෙනි ප්‍රත්‍යය වෙයි.
5. තව ද ආනන්දයෙනි, යම් කලක තථාගතයාණෝ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරත් ද, එකල්හී මේ පොළොව සෙළවෙයි. හාත්පසින් සෙළවෙයි. බලවත් ව සෙළවෙයි. ආනන්දයෙනි, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේ පස්වෙනි හේතුව වෙයි. පස්වෙනි ප්‍රත්‍යය වෙයි.
6. තව ද ආනන්දයෙනි, යම් කලක තථාගතයාණෝ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරත් ද, එකල්හී මේ පොළොව සෙළවෙයි. හාත්පසින් සෙළවෙයි. බලවත් ව සෙළවෙයි. ආනන්දයෙනි, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේ සයවෙනි හේතුව වෙයි. සයවෙනි ප්‍රත්‍යය වෙයි.
7. තව ද ආනන්දයෙනි, යම් කලක තථාගතයාණෝ මනා සිහි නුවණින් යුතුව කල්පයක් වැඩසිටිය හැකි ආයුසංස්කාරය අත්හරිත් ද, එකල්හී මේ පොළොව සෙළවෙයි. හාත්පසින් සෙළවෙයි. බලවත් ව සෙළවෙයි. ආනන්දයෙනි, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේ සත්වෙනි හේතුව වෙයි. සත්වෙනි ප්‍රත්‍යය වෙයි.
8. තව ද ආනන්දයෙනි, යම් කලක තථාගතයාණෝ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාත් ද, එකල්හී මේ පොළොව සෙළවෙයි. හාත්පසින් සෙළවෙයි. බලවත් ව සෙළවෙයි. ආනන්දයෙනි, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේ අටවෙනි හේතුව වෙයි. අටවෙනි ප්‍රත්‍යය වෙයි.
ආනන්දයෙනි, මහත් වූ භූමි චලනයක හටගැනීමට මේ කරුණු අට හේතු වෙයි. ප්‍රත්‍යය වෙයි.
සාදු! සාදු!! සාදු!!!
භූමිචාල සූත්‍රය නිමා විය.
දෙවෙනි චාපාල වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
ඉච්ඡා සූත්‍රය, අලං සූත්‍රය, සංඛිත්ත සූත්‍රය, ගයා සූත්‍රය, අධිදේවඤාණදස්සන සූත්‍රය, අභිභූ සූත්‍රය, විමොක්ඛ සූත්‍රය, වෝහාර සූත්‍ර දෙක, පරිස සූත්‍රය සහ භූමිචාල සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M