අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.5.9. පඨම ලෝකවිජය සුත්තං

8.1.5.9. ලොව ජය ගැනීම ගැන වදාළ පළමු දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමය නම් මිගාර මාතු ප්‍රාසාදයෙහි වැඩවසන සේක. එකල්හී මිගාර මාතා විශාඛා උපාසිකාවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා ය. ….(පෙ)…. එකත්පස් ව හුන් විශාඛා මිගාර මාතාවට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“විශාඛාවෙනි, සතර කරුණකින් සමන්විත වූ ස්ත්‍රිය මෙලොව දිනීම පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් මෙලොව සතුටු කරන්නී වෙයි. ඒ කවර සතරකින් ද යත්,

විශාඛාවෙනි, මෙහිලා ස්ත්‍රිය මැනැවින් සකස් කොට කටයුතු කරන්නී වෙයි. සිය පිරිවර ජනයා හට සංග්‍රහ කරන ලද්දී වෙයි. සැමියා හට මනාප ලෙස හැසිරෙන්නී වෙයි. සැමියා ඉපැයූ දෙය රකින්නී වෙයි.

1. විශාඛාවෙනි, කෙසේ නම් ස්ත්‍රිය මැනැවින් සකස් කොට කටයුතු කරන්නී ද? විශාඛාවෙනි, මෙහිලා ස්ත්‍රිය ස්වාමියාගේ නිවසෙහි ඇති කටයුතු අතර එළුලොම් කැටීම වේවා, කපු කැටීම වේවා, එහිලා දක්ෂ වෙයි. අලස නැත්තී වෙයි. කටයුතු සංවිධානය කිරීමෙහි උපාය වීමංසනයෙන් යුතු වෙයි. විශාඛාවෙනි, මෙසේ ස්ත්‍රිය මැනැවින් සකස් කොට කටයුතු කරන්නී වෙයි.

2. විශාඛාවෙනි, කෙසේ නම් ස්ත්‍රිය සිය පිරිවර ජනයා හට සංග්‍රහ කරන ලද්දී වෙයි ද? විශාඛාවෙනි, මෙහිලා ස්ත්‍රිය ස්වාමියාගේ යම් ඒ අභ්‍යන්තර ජනයා වෙත් ද, මෙහෙකරුවන් වේවා, දාසයන් වේවා, කම්කරුවන් වේවා සිටිත් ද, ඔවුන් කළ දේ කළ දේ වශයෙන් දන්නීය. නොකළ දේ නොකළ දේ වශයෙන් දන්නී ය. ගිලන් වූවන්ගේ ගිලන් බව ත්, බල – දුබල බව ත් දන්නී ය. ඔවුන්ට කන බොන දෑ බෙදා හදා දෙන්නී ය. විශාඛාවෙනි, මෙසේ ස්ත්‍රිය සිය පිරිවර ජනයා හට සංග්‍රහ කරන ලද්දී වෙයි.

3. විශාඛාවෙනි, කෙසේ නම් ස්ත්‍රිය සැමියා හට මනාප ලෙස හැසිරෙන්නී වෙයි ද? විශාඛාවෙනි, මෙහිලා ස්ත්‍රිය යමක් ස්වාමියා හට අමනාප යැයි කියන ලද්දේ ද, එබඳු දෙයක් දිවි යත ත් නොකරන්නී වෙයි. මෙසේ විශාඛාවෙනි, ස්ත්‍රිය සැමියා හට මනාප ලෙස හැසිරෙන්නී වෙයි.

4. විශාඛාවෙනි, කෙසේ නම් ස්ත්‍රිය සැමියා ඉපැයූ දෙය රකින්නී වෙයි ද? විශාඛාවෙනි, මෙහිලා ස්ත්‍රිය තම ස්වාමියා යම් ධනයක් හෝ ධාන්‍යයක් හෝ රනක් හෝ රැගෙන එයි නම්, එය ආරක්ෂා කරයි. රකියි. එහිලා ධූර්ත නැත්තී, සොර නැත්තී, ලොල් නැත්තී, එය නොනසන්නී වෙයි. මෙසේ විශාඛාවෙනි, ස්ත්‍රිය සැමියා ඉපැයූ දෙය රකින්නී වෙයි. විශාඛාවෙනි, මේ සතර කරුණින් සමන්විත වූ ස්ත්‍රිය මෙලොව දිනීම පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් මෙලොව සතුටු කරන්නී වෙයි.

විශාඛාවෙනි, සතර කරුණකින් සමන්විත වූ ස්ත්‍රිය පරලොව දිනීම පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් පරලොව සතුටු කරන්නී වෙයි. ඒ කවර සතරකින් ද යත්,

විශාඛාවෙනි, මෙහිලා ස්ත්‍රිය ශ්‍රද්ධාවෙන් යුක්ත වෙයි. සීලයෙන් යුක්ත වෙයි. ත්‍යාගයෙන් යුක්ත වෙයි. ප්‍රඥාවෙන් යුක්ත වෙයි.

5. විශාඛාවෙනි, කෙසේ නම් ස්ත්‍රිය ශ්‍රද්ධාසම්පන්න වෙයි ද? විශාඛාවෙනි, මෙහිලා ස්ත්‍රිය සැදැහැවත් වෙයි. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නී වෙයි. එනම් ‘මේ මේ කරුණින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. විශාඛාවෙනි, මෙසේ ස්ත්‍රිය ශ්‍රද්ධා සම්පන්න වෙයි.

6. විශාඛාවෙනි, කෙසේ නම් ස්ත්‍රිය සීලසම්පන්න වෙයි ද? විශාඛාවෙනි, මෙහිලා ස්ත්‍රිය සතුන් මැරීමෙන් වැළකුණී වෙයි. ….(පෙ)…. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණී වෙයි. විශාඛාවෙනි, මෙසේ ස්ත්‍රිය සීල සම්පන්න වෙයි.

7. විශාඛාවෙනි, කෙසේ නම් ස්ත්‍රිය ත්‍යාග සම්පන්න වෙයි ද? විශාඛාවෙනි, මෙහිලා ස්ත්‍රිය ත්‍යාගවන්තියක් වෙයි. මසුරුමල දුරු වූ සිතින් ගෙදර වසන්නී වෙයි. දානය පිණිස අත්හැර දොවනා ලද අත් ඇත්තී වෙයි. අනුන්ගේ ඉල්ලීමට සුදුසු වන්නී වෙයි. දන් බෙදන්නී වෙයි. දන් බෙදීමෙහි ඇලුණී වෙයි. විශාඛාවෙනි, මෙසේ ස්ත්‍රිය ත්‍යාග සම්පන්න වෙයි.

8. විශාඛාවෙනි, කෙසේ නම් ස්ත්‍රිය ප්‍රඥා සම්පන්න වෙයි ද? විශාඛාවෙනි, මෙහිලා ස්ත්‍රිය ප්‍රඥාවන්තියක් වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූවා වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූවා වෙයි. විශාඛාවෙනි, මෙසේ ස්ත්‍රිය ප්‍රඥා සම්පන්න වෙයි.

විශාඛාවෙනි, මේ සතර කරුණෙන් සමන්විත වූ ස්ත්‍රිය පරලොව දිනීම පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් පරලොව සතුටු කරන්නී වෙයි.

(ගාථා)

1. ස්ත්‍රිය මැනැවින් සංවිධානය කොට කටයුතු කරන්නී, සිය පිරිවර ජනයාට ද මැනැවින් සලකන ලද්දී, ස්වාමියා සතුටු වන අයුරින් හැසිරෙයි. සැමියා සපයන ධනය රකියි.

2. ශ්‍රද්ධාවෙන් ද, සීලයෙන් ද, ඉල්ලා සිටින්නවුන්ගේ වචන දන්නී වෙයි ද, මසුරු මල බැහැර කළ සිතින් වසයි ද, පරලොව සැප ලැබෙන මාර්ගය නිතර පිරිසිදු කරයි ද,

3. මේ අෂ්ට ධර්මය යම් ස්ත්‍රියක් තුළ තිබෙයි නම්, ධර්මයෙහි පිහිටි ඇය සිල්වතියකි. සත්‍යය පවසන්නියකි.

4. ස්ත්‍රිය තමා ත් මේ අංග අට සමාදන් වෙයි. අන්‍යයන් ද සමාදන් කරවන්නී වෙයි. එවිට අංග දහසයකි. මෙබඳු වූ සිල්වත් උපාසිකාව මනාපකායික දෙව්ලොවට පැමිණෙන්නී ය.

සාදු! සාදු!! සාදු!!!

පඨම ලෝකවිජය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M