එක් සමයක භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාර ගිරියෙහි භේසකලා වනයෙහි මිගදායෙහි වැඩවසන සේක. එකල්හී නකුලමාතා ගෘහපතිනිය භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා ය. පැමිණ ….(පෙ)…. එකත්පස් ව හුන් නකුලමාතා ගෘහපතිනියට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“නකුලමාතාවෙනි, අට කරුණකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු මනාපකායික දෙවියන් අතර උපදින්නී ය. ඒ කවර අටක් ද යත්;
1. නකුලමාතාවෙනි, මෙහිලා මව්පියවරු යහපත කැමති ව, හිතවත් ව, අනුකම්පාවෙන්, අනුකම්පාව උපදවා යම් ස්වාමියෙකුට ස්ත්‍රියක් දෙත් නම්, ඇය ඒ ස්වාමියාට පළමු ව අවදිවන්නී, හැමට පසු ව නිදන්නී කුමක් කළ යුතු දැයි විමසන්නී, ප්‍රිය මනාප හැසිරීම් ඇති ව ප්‍රිය තෙපුල් ඇත්තී වෙයි.
2. යම් ඒ ස්වාමියාගේ ගුරුවරු වෙත් ද, මව හෝ පියා හෝ වෙත් ද, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හෝ වෙත් ද, ඔවුන්ට ද සත්කාර කරයි. ගරු කරයි. බුහුමන් කරයි. පුදයි. වෙත පැමිණි කල්හී ආසනයෙන් ද, පැනින් ද පුදයි.
3. ස්වාමියාගේ නිවසෙහි ඇති කටයුතු අතර එළුලොම් කැටීම වේවා, කපු කැටීම වේවා, එහිලා දක්ෂ වෙයි. අලස නැත්තී වෙයි. කටයුතු සංවිධානය කිරීමෙහි උපාය වීමංසනයෙන් යුතු වෙයි.
4. ස්වාමියාගේ යම් ඒ අභ්‍යන්තර ජනයා වෙත් ද, මෙහෙකරුවන් වේවා, දාසයන් වේවා, කම්කරුවන් වේවා සිටිත් ද, ඔවුන් කළ දේ කළ දේ වශයෙන් දන්නීය. නොකළ දේ නොකළ දේ වශයෙන් දන්නී ය. ගිලන් වූවන්ගේ ගිලන් බව ත්, බල – දුබල බව ත් දන්නී ය. ඔවුන් හට කන බොන දෑ බෙදා හදා දෙන්නී ය.
5. තම ස්වාමියා ධනයක් හෝ ධාන්‍යයක් හෝ රනක් හෝ රැගෙන එයි නම්, එය ආරක්ෂා කරයි. රකියි. එහිලා ධූර්ත නැත්තී, සොර නැත්තී, ලොල් නැත්තී, එය නොනසන්නී වෙයි.
6. බුදුරජුන් සරණ ගිය, ධර්මය සරණ ගිය, සංඝයා සරණ ගිය උපාසිකාවක් වෙයි.
7. සිල්වත් වෙයි. සතුන් මැරීමෙන් වැළකුණී වෙයි. සොරකමින් වැළකුණී වෙයි. වැරදි කාම සේවනයෙන් වැළකුණී වෙයි. බොරු කීමෙන් වැළකුණී වෙයි. මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණී වෙයි.
8.ත්‍යාගවන්තියක් වෙයි. මසුරුමල දුරු වූ සිතින් ගෙදර වසන්නී වෙයි. දානය පිණිස අත්හැර දොවනා ලද අත් ඇත්තී වෙයි. අනුන්ගේ ඉල්ලීමට සුදුසු වන්නී වෙයි. දන් බෙදන්නී වෙයි. දන් බෙදීමෙහි ඇලුණී වෙයි.
නකුලමාතාවෙනි, මේ අට කරුණෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු මනාපකායික දෙවියන් අතර උපදින්නී ය.
(ගාථා)
1. යම් පුරුෂයෙක් හැම විට, නිතර බලවත් වීරියෙන් යුතුව, උත්සාහයෙන් යුතුව යම් ස්ත්‍රියක් පෝෂණය කරයි ද, ඒ ගෘහණිය තමාට කැමති සියල්ල දෙන ස්වාමියා හෙලා නොදකින්නී ය.
2. නුවණැති ස්ත්‍රිය ස්වාමියා කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොබනින්නී වෙයි. ස්වාමියාගේ ගුරුතන්හි සිටින සියල්ලන් පුදන්නී වෙයි.
3. නැගී සිටින වීරිය ඇත්තී වෙයි. කම්මැලි නැත්තී වෙයි. පරිවාර ජනයාට සංග්‍රහ කරන්නී වෙයි. ස්වාමියාගේ සිත් සතුටු කරමින් හැසිරෙන්නී ඔහු ඉපැයූ ධනය රකින්නී වෙයි.
4. යම් ස්ත්‍රියක් මෙසේ ස්වාමියාට සේවය කොට ස්වාමියාගේ කැමැත්ත අනුව සිටියා වෙයි ද, ඕ තොමෝ මනාප කායික (නිම්මාණරතී) දෙවියන් සිටින තැන උපදින්නී ය.
සාදු! සාදු!! සාදු!!!
නකුලමාතු මනාපකායික සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M