එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමය නම් මිගාර මාතු ප්‍රාසාදයෙහි වැඩවසන සේක. එකල්හී මිගාර මාතා විශාඛා උපාසිකාවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්නා ය. එකත්පස් ව හුන් විශාඛා මිගාර මාතාවට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“විශාඛාවෙනි, අංග අටකින් යුක්ත ව උපෝසථ සිල් සමාදන් වීම මහත්ඵල ඇත්තේ වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි.
විශාඛාවෙනි, කවර අයුරින් අංග අටකින් යුතු උපෝසථය සමාදන් වීමෙන් ද, මහත්ඵල ඇති වන්නේ? මහානිශංස ඇති වන්නේ? මහත් බැබලීම් ඇති වන්නේ? මහත් පැතිරීම් ඇති වන්නේ?
විශාඛාවෙනි, මෙහිලා ආර්යශ්‍රාවකයා මෙසේ නුවණින් සළකයි. ‘දිවි ඇති තෙක් රහතන් වහන්සේලා සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වැළකුණු සේක. දඬු මුගුරු අත්හැර, අවි ආයුධ අත්හැර, ලැජ්ජා ඇති ව, දයාවෙන් යුක්ත ව, සියළු ප්‍රාණ භූතයින් කෙරෙහි හිතානුකම්පී ව වසන සේක. මම ත් අද මේ රාත්‍රිය ත්, මේ දහවල ත්, සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වැළකී සිටිමි. දඬු මුගුරු අත්හැර, අවි ආයුධ අත්හැර, ලැජ්ජා ඇති ව, දයාවෙන් යුක්ත ව, සියළු ප්‍රාණ භූතයින් කෙරෙහි හිතානුකම්පී ව වාසය කරමි. මම මේ අංගය සමාදන් වීමෙන් රහතන් වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ පළමු අංගයෙන් සමන්විත වෙයි.
….(පෙ)…. ‘රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු වටිනා සුඛෝපභෝගී ආසන අත්හැර, වටිනා සුඛෝපභෝගී ආසන වලින් වැළකී, ඇඳක හෝ පැදුරක හෝ බිම සැතපුණු සේක. මම ත් අද මේ රැය ත් මේ දහවල ත් වටිනා සුඛෝපභෝගී ආසන අත්හැර, වටිනා සුඛෝපභෝගී ආසන වලින් වැළකී, ඇඳක හෝ පැදුරක හෝ බිම සැතපෙමි. මම මේ අංගය සමාදන් වීමෙන් රහතන් වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ අටවෙනි අංගයෙන් සමන්විත වෙයි.
විශාඛාවෙනි, මෙසේ අංග අටකින් යුක්ත ව උපෝසථ සිල් සමාදන් වීම මහත්ඵල ඇත්තේ වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි.
කොපමණ මහත්ඵල වෙයි ද? කොපමණ මහානිශංස වෙයි ද? කොපමණ මහා බැබලීම් ඇත්තේ වෙයි ද? කොපමණ මහා පැතිරීම් ඇත්තේ වෙයි ද?
විශාඛාවෙනි, එය මෙබඳු දෙයකි. යමෙක් මේ අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේතිය, වංග, කුරු, පංචාල, මච්ඡ, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර, කාම්බෝජ යන සොළොස් මහා ජනපදයන්හි බොහෝ සත්රුවන් ඇති ව, ඉසුරුමත් බව ත් අධිපති බව ත් ඇති ව, රාජ්‍ය කරවන්නේ වෙයි ද, මෙය අෂ්ටාංග උපෝසථය සමාදන් වීමෙන් ලැබෙන විපාකයෙහි සොළොස් කලාවෙන් එක් කලාවක් වත් නොවටියි. ඒ මක් නිසා ද යත්, විශාඛාවෙනි, මිනිස් ලොව රජ සැප දිව්‍ය සැප හා සසඳා බලද්දී ඉතා දිළිඳු ය.
විශාඛාවෙනි, මිනිස් ආයුෂයෙන් පනස් වසරක් යන මෙය චාතුම්මහාරාජික දෙවියන්ගේ එක් රාත්‍රී දහවලකි. එයින් තිස් රැයක් මාසයකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ පන්සියයක් චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුෂ වෙයි. විශාඛාවෙනි, යම් කරුණකින් මෙලොවෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අෂ්ටාංග උපෝසථ සිල් ආරක්ෂා කොට කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙව්ලොවෙහි උපදින්නේ ය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි. විශාඛාවෙනි, මෙකරුණ පවසන ලද්දේ දිව්‍ය සැප හා සසඳා බලද්දී මිනිස් ලොව රජ සැප ඉතා දිළිඳු නිසා ය.
විශාඛාවෙනි, මිනිස් ආයුෂයෙන් සිය වසරක් යන මෙය තව්තිසා දෙවියන්ගේ එක් රාත්‍රී දහවලකි. එයින් තිස් රැයක් මාසයකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දහසක් තව්තිසා දෙවියන්ගේ ආයුෂ වෙයි. විශාඛාවෙනි, යම් කරුණකින් මෙලොවෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අෂ්ටාංග උපෝසථ සිල් ආරක්ෂා කොට කය බිඳී මරණින් මතු තව්තිසා දෙව්ලොවෙහි උපදින්නේ ය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි. විශාඛාවෙනි, මෙකරුණ පවසන ලද්දේ දිව්‍ය සැප හා සසඳා බලද්දී මිනිස් ලොව රජ සැප ඉතා දිළිඳු නිසා ය.
විශාඛාවෙනි, මිනිස් ආයුෂයෙන් දෙසිය වසරක් ….(පෙ)…. හාරසිය වසරක් ….(පෙ)…. අටසිය වසරක් ….(පෙ)…. විශාඛාවෙනි, මිනිස් ආයුෂයෙන් එක්දහස් හයසියයක් යන මෙය පරනිම්මිත වසවත්තී දෙවියන්ගේ එක් රාත්‍රී දහවලකි. එයින් තිස් රැයක් මාසයකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දහසය දහසක් පරනිම්මිතවසවත්තී දෙවියන්ගේ ආයුෂ වෙයි. විශාඛාවෙනි, යම් කරුණකින් මෙලොවෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අෂ්ටාංග උපෝසථ සිල් ආරක්ෂා කොට කය බිඳී මරණින් මතු පරනිම්මිත වසවත්තී දෙව්ලොවෙහි උපදින්නේ ය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි. විශාඛාවෙනි, මෙකරුණ පවසන ලද්දේ දිව්‍ය සැප හා සසඳා බලද්දී මිනිස් ලොව රජ සැප ඉතා දිළිඳු නිසා ය.
(ගාථා)
1. සතුන් නොමරන්නේ ය. නුදුන් දෑ නොගන්නේ ය. බොරු නොකියන්නේ ය. මද්‍ය පානය නොකරන්නේ ය. අබ්‍රහ්මචාරී බව වූ මෛථුන සේවනයෙන් දුරු වන්නේ ය. රෑ විකල් බොජුන් නොවළඳන්නේ ය.
2. මල් නොපළඳින්නේ ය. සුවඳ විලවුන් නොගල්වන්නේ ය. කැප වූ ඇඳක හෝ බිම පැදුරෙහි හෝ සැතපෙන්නේ ය. මෙය දුකෙහි නිමාවට පැමිණි බුදුරජුන් විසින් වදාරණ ලද අංග අටකින් යුතු උපෝසථය වෙයි.
3. සඳ ත්, හිරු ත් යන දෙදෙන සොඳුරු දැකුම් ඇති ව යම්තාක් දිලෙමින් හැසිරෙත් ද, එහි හැසිරෙන අඳුර දුරලන ඒ සඳ හිරු දෙදෙන දිශා බබුළුවමින් අහසෙහි දිළිසෙයි.
4. මේ සඳ හිරු අතර ලෝකයෙහි මුතු, මැණික්, වෛරෝඩි, සොඳුරු සිංගී ස්වර්ණ, කංචන යනාදී යම් ධනයක් වේ ද, හටක නම් රත්‍රන් ආදියක් වෙයි ද, ඒ සියල්ල අට්ඨාංග උපෝසථ සිල් සුරකින තැනැත්තාට ලැබෙන විපාකයෙන් සොළොස් වන කලාවෙන් කලාවකට ද නොපැමිණෙයි. සඳ එළිය ත්, සියළු තරු එළිය ත් එබඳු ම ය.
5. එහෙයින් සිල්වත් වූ ස්ත්‍රියක් වෙයි ද, පුරුෂයෙක් වෙයි ද, අංග අටකින් යුක්ත වූ උපෝසථ සිල් මැනැවින් ආරක්ෂා කොට සැප උපදවාලන පින් කොට නින්දා නැති ස්වර්ගයට යන්නාහු ය.
සාදු! සාදු!! සාදු!!!
විසාඛූපෝසථ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M