අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.2.9. පහාරාද සුත්තං

8.1.2.9. පහාරාද අසුරේන්ද්‍රයාට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජාවෙහි නළේරු නම් කොහොඹ රුක් සෙවණෙහි වැඩහුන් සේක. එකල්හී පහාරාද අසුරේන්ද්‍රයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිට ගත්තේ ය. එකත්පස් ව සිටි පහාරාද අසුරේන්ද්‍රයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“පහාරාදයෙනි, අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වසත් ද?”

“ස්වාමිනී, අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා ගෙන සිටිති.”

“පහාරාදයෙනි, මහා සයුරෙහි ඇති කොතෙක් වූ ආශ්චර්ය අද්භූත ධර්මයන් දැක දැක ද අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වසන්නේ?”

“ස්වාමීනී, මහා සමුද්‍රයෙහි ආශ්චර්ය වූ ත්, අද්භූත වූ ත් ධර්මයන් අටක් ඇත්තේ ය. එය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වසති. ඒ කවර අටක් ද යත්;

1. ස්වාමීනී, මහා සමුද්‍රය අනුපිළිවෙලින් ගැඹුරු වෙයි. අනුපිළිවෙලින් යටට නැමුණේ වෙයි. අනුපිළිවෙලින් ඉදිරියට බර වූයේ වෙයි. පටන් ගත් තැන ම ප්‍රපාතය නොවෙයි. ස්වාමීනී, යම් හෙයකින් මහා සමුද්‍රය අනුපිළිවෙලින් ගැඹුරු වෙයි ද, අනුපිළිවෙලින් යටට නැමුණේ වෙයි ද, අනුපිළිවෙලින් ඉදිරියට බර වූයේ වෙයි ද, පටන් ගත් තැන ම ප්‍රපාතය නොවෙයි ද, ස්වාමීනී, මෙය මහා සමුද්‍රයෙහි ඇති පළමු ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වසති.

2. තව ද ස්වාමීනි, මහා සමුද්‍රය පිහිටි ස්වභාවය ඇත්තේ වෙරළ ඉක්මවා නොයයි. ස්වාමීනී, යම් හෙයකින් මහා සමුද්‍රය පිහිටි ස්වභාවය ඇත්තේ වෙරළ ඉක්මවා නොයයි ද, ස්වාමීනී, මෙය මහා සමුද්‍රයෙහි ඇති දෙවෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වසති.

3. තව ද ස්වාමීනී, මහා සමුද්‍රය මළකුණු සමඟ වාසය නොකරයි. මහා සමුද්‍රයෙහි යම් මළකුණක් ඇද්ද, එය වහා ම රළ පහරින් ගොඩට ගසයි. ගොඩබිමට නංවයි. ස්වාමීනී, යම් හෙයකින් මහා සමුද්‍රය මළකුණු සමඟ වාසය නොකරයි ද, මහා සමුද්‍රයෙහි යම් මළකුණක් ඇද්ද, එය වහා ම රළ පහරින් ගොඩට ගසයි ද, ගොඩබිමට නංවයි ද, ස්වාමීනී, මෙය මහා සමුද්‍රයෙහි ඇති තුන්වෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වසති.

4. තව ද ස්වාමීනී, යම්කිසි මහා නදීහු වෙත් ද, එනම්; ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යනුවෙනි. ඒ මහා ගංගා මහා සමුද්‍රයට පැමිණ ඒවායෙහි පැරණි නම් ගොත් අත්හරියි. මහා සමුද්‍රය යන නාමයට යයි. ස්වාමීනී, යම් හෙයකින් යම්කිසි මහා නදීහු වෙත් ද, එනම්; ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යනුවෙනි. ඒ මහා ගංගා මහා සමුද්‍රයට පැමිණ ඒවායෙහි පැරණි නම් ගොත් අත්හරියි ද, මහා සමුද්‍රය යන නාමයට යයි ද, ස්වාමීනී, මෙය මහා සමුද්‍රයෙහි ඇති සිව්වෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වසති.

5. තව ද ස්වාමීනී, ලෝකයෙහි යම් බඳු කුඩා මහත් ගංගාවෝ මහා සමුද්‍රයට පිවිසෙත් ද, අහසින් යම් වැසි ධාරාවෝ වැටෙත් ද, එයින් මහා සමුද්‍රයෙහි අඩු බවක් හෝ පිරුණු බවක් හෝ නොපෙනෙයි. ස්වාමීනී, යම් හෙයකින් ලෝකයෙහි යම් බඳු කුඩා මහත් ගංගාවෝ මහා සමුද්‍රයට පිවිසෙත් ද, අහසින් යම් වැසි ධාරාවෝ වැටෙත් ද, එයින් මහා සමුද්‍රයෙහි අඩු බවක් හෝ පිරුණු බවක් හෝ නොපෙනෙයි ද, ස්වාමීනී, මෙය මහා සමුද්‍රයෙහි ඇති පස්වෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වසති.

6. තව ද ස්වාමීනී, මහා සමුද්‍රය එක ම රස වූ ලුණු රසයෙන් යුක්ත ය. ස්වාමීනී, යම් හෙයකින් මහා සමුද්‍රය එක ම රස වූ ලුණු රසයෙන් යුක්ත වෙයි ද, ස්වාමීනී, මෙය මහා සමුද්‍රයෙහි ඇති හයවෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වසති.

7. තව ද ස්වාමීනී, මහා සමුද්‍රයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ය. එහිලා මේවා රුවන් ය. එනම් මුතු ය, මැණික් ය, වෛරෝඩි ය, හක්ගෙඩි ය, සිලා ය, පබළු ය, රිදී ය, රන් ය, පද්මරාග ය, මසාරගල්ල ය යනාදිය යි. ස්වාමීනී, යම් හෙයකින් මහා සමුද්‍රයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ද එහිලා මේවා රුවන් ය. එනම් මුතු ය, මැණික් ය, වෛරෝඩි ය, හක්ගෙඩි ය, සිලා ය, පබළු ය, රිදී ය, රන් ය, පද්මරාග ය, මසාරගල්ල ය යනාදිය ඇත්තේ ද, ස්වාමීනී, මෙය මහා සමුද්‍රයෙහි ඇති සත්වෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වසති.

8. තව ද ස්වාමීනී, මහා සමුද්‍රය සුවිශාල සතුන්ට නිවාසය වෙයි. එහිලා මේ සත්වයෝ ය. එනම් තිමි ය, තිමිංගල ය, තිමිරපිංගල ය, අසුරයෝ ය, නාගයෝ ය, ගාන්ධර්වයෝ ය. මහා සමුද්‍රයේ යොදුන් සිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් දෙසිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් තුන්සිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් හාරසිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් පන්සිය ගණන් ඇති ආත්මභාවයෝ ද ඇත්තාහු ය. ස්වාමීනී, යම් හෙයකින් මහා සමුද්‍රය සුවිශාල සතුන්ට නිවාසය වෙයි ද, එහිලා මේ සත්වයෝ ය. එනම් තිමි ය, තිමිංගල ය, තිමිරපිංගල ය, අසුරයෝ ය, නාගයෝ ය, ගාන්ධර්වයෝ ය. මහා සමුද්‍රයේ යොදුන් සිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් දෙසිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් තුන්සිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් හාරසිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් පන්සිය ගණන් ඇති ආත්මභාවයෝ ද ඇත්තාහු ද, ස්වාමීනී, මෙය මහා සමුද්‍රයෙහි ඇති අටවෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වසති.

ස්වාමීනී, මහා සමුද්‍රයෙහි ආශ්චර්ය වූ ත්, අද්භූත වූ ත් මේ අට ධර්මයන් ඇත්තේ ය. එය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයේ සිත් අලවා වසති.

ස්වාමීනී, මේ ධර්ම විනයෙහි භික්ෂූහු සිත් අලවා වෙසෙත් ද?”

“පහාරාදයෙනි, භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වෙසෙති.”

“ස්වාමීනී, මේ ධර්ම විනයෙහි කොතෙක් වූ ආශ්චර්ය වූ, අද්භූත වූ ධර්මයන් දැක දැක ද භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසන්නේ?”

“පහාරාදයෙනි, මේ ධර්ම විනයෙහි ආශ්චර්ය වූ, අද්භූත වූ ධර්මයන් අටකි. ඒවා දැක දැක ය භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසන්නේ. ඒ කවර අටක් ද යත්;

1. පහාරාදයෙනි, යම් සේ මහා සමුද්‍රය අනුපිළිවෙලින් ගැඹුරු වෙයි ද, අනුපිළිවෙලින් යටට නැමුණේ වෙයි ද, අනුපිළිවෙලින් ඉදිරියට බර වූයේ වෙයි ද, පටන් ගත් තැන ම ප්‍රපාතය නොවෙයි ද, එසෙයින් ම පහාරාදයෙනි, මේ ධර්ම විනයෙහි අනුපිළිවෙලින් හික්මීමක්, අනුපිළිවෙලින් ක්‍රියාවක්, අනුපිළිවෙල ප්‍රතිපදාවක් ඇත්තේ ය. පටන් ගත් තැනින් ම අරහත්වය සාක්ෂාත් නොවෙයි. පහාරාදයෙනි, යම් හෙයකින් මේ ධර්ම විනයෙහි අනුපිළිවෙලින් හික්මීමක්, අනුපිළිවෙලින් ක්‍රියාවක්, අනුපිළිවෙල ප්‍රතිපදාවක් ඇත්තේ ද, පටන් ගත් තැනින් ම අරහත්වය සාක්ෂාත් නොවෙයි ද, පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති පළමු ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසති.

2. පහාරාදයෙනි, යම් සේ මහා සමුද්‍රය පිහිටි ස්වභාවය ඇත්තේ වෙරළ ඉක්මවා නොයයි ද, එසෙයින් ම පහාරාදයෙනි, මා විසින් ශ්‍රාවකයන් හට යම් ශික්ෂාපදයක් පණවන ලද්දේ ද, මාගේ ශ්‍රාවකයෝ ජීවිතය ගිය ත් එය ඉක්මවා නොයති. පහාරාදයෙනි, යම් හෙයකින් මා විසින් ශ්‍රාවකයන් හට යම් ශික්ෂාපදයක් පණවන ලද්දේ ද, මාගේ ශ්‍රාවකයෝ ජීවිතය ගිය ත් එය ඉක්මවා නොයත් ද, පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති දෙවෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසති.

3. පහාරාදයෙනි, යම් සේ මහා සමුද්‍රය මළකුණු සමඟ වාසය නොකරයි ද, මහා සමුද්‍රයෙහි යම් මළකුණක් ඇද්ද, එය වහා ම රළ පහරින් ගොඩට ගසයි ද, ගොඩබිමට නංවයි ද, එසෙයින් ම පහාරාදයෙනි, යම් මේ පුද්ගලයෙක් දුස්සීල වෙයි ද, පවිටු ධර්ම ඇත්තේ වෙයි ද, අපිරිසිදු කාය කර්මාදිය ඇත්තේ වෙයි ද, සැඟ වී කරන කටයුතු ඇත්තේ වෙයි ද, අශ්‍රමණයෙකු ව ශ්‍රමණයෙකි යි ප්‍රතිඥා දෙන්නේ ද, අබ්‍රහ්මචාරියෙකු ව බ්‍රහ්මචාරියෙකි යි ප්‍රතිඥා දෙන්නේ ද, ඇතුළත කුණු වූයේ, කෙලෙස් වැගිරෙන්නෙක් වූයේ, කසල හටගත්තේ වෙයි ද, සංඝයා ඔහු සමඟ වාසය නොකරයි. වැලිදු සංඝයා වහා රැස් ව ඔහු ව සංඝයාගෙන් බැහැර කරයි. ඔහු භික්ෂු සංඝයා මැද සිටිනා නමුත් සංඝයාගෙන් බැහැර වූයේ ම වෙයි. සංඝයා ද ඔහුගෙන් බැහැර වූයේ ම වෙයි. පහාරාද යම් හෙයකින් යම් මේ පුද්ගලයෙක් දුස්සීල වෙයි ද, පවිටු ධර්ම ඇත්තේ වෙයි ද, අපිරිසිදු කාය කර්මාදිය ඇත්තේ වෙයි ද, සැඟ වී කරන කටයුතු ඇත්තේ වෙයි ද, අශ්‍රමණයෙකු ව ශ්‍රමණයෙකි යි ප්‍රතිඥා දෙන්නේ ද, අබ්‍රහ්මචාරියෙකු ව බ්‍රහ්මචාරියෙකි යි ප්‍රතිඥා දෙන්නේ ද, ඇතුළත කුණු වූයේ, කෙලෙස් වැගිරෙන්නෙක් වූයේ, කසල හටගත්තේ වෙයි ද, සංඝයා ඔහු සමඟ වාසය නොකරයි ද, වැලිදු සංඝයා වහා රැස් ව ඔහු ව සංඝයාගෙන් බැහැර කරයි ද, ඔහු භික්ෂු සංඝයා මැද සිටිනා නමුත් සංඝයාගෙන් බැහැර වූයේ ම වෙයි ද, සංඝයා ද ඔහුගෙන් බැහැර වූයේ ම වෙයි ද, පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති තුන්වෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසති.

4. පහාරාදයෙනි, යම් සේ යම්කිසි මහා නදීහු වෙත් නම්, එනම් ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යනුවෙනි. ඒ මහා ගංගා මහා සමුද්‍රයට පැමිණ ඒවායෙහි පැරණි නම් ගොත් අත්හරියි ද, එසෙයින් ම පහාරාදයෙනි, මේ වර්ණයෝ සතරකි. එනම් ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යි. ඔවුහු තථාගත ධර්ම විනයෙහි අනගාරික ශාසනයෙහි ගිහි ගෙයින් නික්ම පැවිදි වෙති. පැරණි නම් ගොත් අත්හැර ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ය යන නාමයට යති. පහාරාදයෙනි, යම් හෙයකින් මේ වර්ණයෝ සතරක් ඇද්ද, එනම් ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය හා ශුද්‍ර යි. ඔවුහු තථාගත ධර්ම විනයෙහි අනගාරික ශාසනයෙහි ගිහි ගෙයින් නික්ම පැවිදි වෙත් ද, පැරණි නම් ගොත් අත්හැර ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ය යන නාමයට යත් ද, පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති සිව්වෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසති.

5. පහාරාදයෙනි, යම් සේ ලෝකයෙහි යම් බඳු කුඩා මහත් ගංගාවෝ මහා සමුද්‍රයට පිවිසෙත් ද, අහසින් යම් වැසි ධාරාවෝ වැටෙත් ද, එයින් මහා සමුද්‍රයෙහි අඩු බවක් හෝ පිරුණු බවක් හෝ නොපෙනෙයි ද, එසෙයින් ම පහාරාදයෙනි, බොහෝ භික්ෂූහු අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී යති. ඒ හේතුවෙන් නිර්වාණධාතුවෙහි අඩු බවක් හෝ පිරෙන බවක් හෝ නොපෙනෙයි. පහාරාදයෙනි, යම් හෙයකින් බොහෝ භික්ෂූහු අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී යත් ද, ඒ හේතුවෙන් නිර්වාණධාතුවෙහි අඩු බවක් හෝ පිරෙන බවක් හෝ නොපෙනෙයි ද, පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති පස්වෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසති.

6. පහාරාදයෙනි, යම් සේ මහා සමුද්‍රය එක ම රස වූ ලුණු රසයෙන් යුක්ත වෙයි ද, එසෙයින් ම පහාරාදයෙනි, මේ ධර්ම විනය එක ම රසය වූ විමුක්ති රසයෙන් යුක්ත වෙයි. පහාරාදයෙනි, යම් හෙයකින් මේ ධර්ම විනය එක ම රසය වූ විමුක්ති රසයෙන් යුක්ත වෙයි ද, පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති සයවෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසති.

7. පහාරාදයෙනි, යම් සේ මහා සමුද්‍රයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ද එහිලා මේවා රුවන් ය. එනම් මුතු ය, මැණික් ය, වෛරෝඩි ය, හක්ගෙඩි ය, සිලා ය, පබළු ය, රිදී ය, රන් ය, පද්මරාග ය, මසාරගල්ල ය යනාදිය ඇත්තේ ද, එසෙයින් ම පහාරාදයෙනි, මේ ධර්ම විනයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ය. එහිලා මේ රත්නයෝ ය. එනම්, සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේවා ය. පහාරාදයෙනි, යම් හෙයකින් මේ ධර්ම විනයෙහි බොහෝ රුවන්, නොයෙක් රුවන් ඇත්තේ ද, එහිලා මේ රත්නයෝ ය. එනම්, සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේවා ඇත්තේ ද, පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති සත්වෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසති.

8. පහාරාදයෙනි, යම් සේ මහා සමුද්‍රය සුවිශාල සතුන්ට නිවාසය වෙයි ද, එහිලා මේ සත්වයෝ ය. එනම් තිමි ය, තිමිංගල ය, තිමිරපිංගල ය, අසුරයෝ ය, නාගයෝ ය, ගාන්ධර්වයෝ ය. මහා සමුද්‍රයේ යොදුන් සිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් දෙසිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් තුන්සිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් හාරසිය ගණන් ඇති ආත්මභාවයෝ ද, යොදුන් පන්සිය ගණන් ඇති ආත්මභාවයෝ ද ඇත්තාහු ද, එසෙයින් ම පහාරාදයෙනි, මේ ධර්ම විනය ද සුවිශාල සත්වයන්ට ආවාස වෙයි. එහිලා මේ සත්වයෝ ය. සෝවාන් වූ කෙනා ය, සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, සකදාගාමී වූ කෙනා ය, සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, අනාගාමී වූ කෙනා ය, අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, රහතන් වහන්සේ ය. අරහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය. පහාරාදයෙනි, යම් හෙයකින් මේ ධර්ම විනය ද සුවිශාල සත්වයන්ට ආවාස වෙයි ද, එහිලා මේ සත්වයෝ ය. සෝවාන් වූ කෙනා ය, සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, සකදාගාමී වූ කෙනා ය, සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, අනාගාමී වූ කෙනා ය, අනාගාමී ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, රහතන් වහන්සේ ය. අරහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය වශයෙන් මහා සත්වයෝ සිටිත් ද, පහාරාදයෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති අටවෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසති.

පහාරාදයෙනි, මේ ධර්ම විනයෙහි ඇති ආශ්චර්ය වූ, අද්භූත වූ ධර්මයන් අට මේවා ය. ඒවා දැක දැක ය භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසන්නේ.”

සාදු! සාදු!! සාදු!!!

පහාරාද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M