අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.2.10. උපෝසථ සුත්තං

8.1.2.10. උපෝසථයේදී වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමයෙහි මිගාර මාතු ප්‍රාසාදයෙහි වැඩවෙසෙන සේක. එසමයෙහි ඒ උපෝසථ දිනයෙහි භික්ෂු සංඝයා පිරිවරා භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ රෑ ඉක්ම ගිය බොහෝ කල් ඇත්තේ රාත්‍රියෙහි ප්‍රථම යාමය ඉක්ම ගිය කල්හී හුනස්නෙන් නැගිට තනිපොට සිවුර ඒකාංශ කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

“ස්වාමීනී, රෑ ඉක්ම ගොස් බොහෝ කල් ඇත්තේ ය. ප්‍රථම යාමය ඉක්ම ගියේ ය. භික්ෂු සංඝයා බොහෝ වේලාවක සිට වාඩි වී සිටියි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට පාමොක් උදෙසන සේක්වා!”

මෙසේ පැවසූ කල්හී භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක.

දෙවෙනි වරට ත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ රෑ ඉක්ම ගිය බොහෝ කල් ඇත්තේ රාත්‍රියෙහි මධ්‍යම යාමය ඉක්ම ගිය කල්හී හුනස්නෙන් නැගිට තනිපොට සිවුර ඒකාංශ කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

“ස්වාමීනී, රෑ ඉක්ම ගොස් බොහෝ කල් ඇත්තේ ය. මධ්‍යම යාමය ඉක්ම ගියේ ය. භික්ෂු සංඝයා බොහෝ වේලාවක සිට වාඩි වී සිටියි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට පාමොක් උදෙසන සේක්වා!”

දෙවෙනි වරට ත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක.

තෙවෙනි වරට ත් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ රෑ ඉක්ම ගිය බොහෝ කල් ඇත්තේ රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි අරුණ නැගි කල්හී රැය පහන් වූ කල්හී හුනස්නෙන් නැගිට තනිපොට සිවුර ඒකාංශ කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

“ස්වාමීනී, රෑ ඉක්ම ගොස් බොහෝ කල් ඇත්තේ ය. පශ්චිම යාමය ඉක්ම ගියේ ය. අරුණ නැග්ගේ ය. රැය පහන් වූයේ ය. භික්ෂු සංඝයා බොහෝ වේලාවක සිට වාඩි වී සිටියි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට පාමොක් උදෙසන සේක්වා!”

“ආනන්දයෙනි, පිරිස අපිරිසිදු ය.”

ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය.

‘භාග්‍යවතුන් වහන්සේ කවර පුද්ගලයෙකු සඳහා ද ‘ආනන්දයෙනි, පිරිස අපිරිසිදු ය’ යන මේ වචනය වදාළේ?’ යි.

ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ එතැන රැස් වූ සියළු භික්ෂු සංඝයාගේ සිත තම සිතින් පිරිසිඳ බලා මෙනෙහි කළහ. ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ඒ දුස්සීල වූ, පවිටු ධර්ම ඇති, අපිරිසිදු කාය කර්මාදිය ඇති, සැඟ වී කරන කටයුතු ඇති, අශ්‍රමණයෙකු ව ශ්‍රමණයෙකි යි ප්‍රතිඥා දෙන, අබ්‍රහ්මචාරියෙකු ව බ්‍රහ්මචාරියෙකි යි ප්‍රතිඥා දෙන, ඇතුළත කුණු වූ, කෙලෙස් වැගිරෙන, කසල හටගත් පුද්ගලයෙක් භික්ෂු සංඝයා මැද වාඩි වී සිටි අයුරු දුටහ. දැක හුනස්නෙන් නැගිට ඒ පුද්ගලයා වෙත වැඩියහ. වැඩම කොට ඒ පුද්ගලයාට මෙය පැවසූහ.

“ආයුෂ්මත, නැගිටිනු. භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි ය. ඔබට පිරිසිදු සංඝයා සමඟ එකට වාසය කිරීමක් නැත්තේ ය.”

මෙසේ පැවසූ කල්හී ඒ පුද්ගලයා නිශ්ශබ්ද ව සිටියේ ය.

දෙවෙනි වතාවට ත් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ඒ පුද්ගලයාට මෙය පැවසූහ.

“ආයුෂ්මත, නැගිටිනු. භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි ය. ඔබට පිරිසිදු සංඝයා සමඟ එකට වාසය කිරීමක් නැත්තේ ය.”

දෙවන වතාවට ත් ඒ පුද්ගලයා නිශ්ශබ්ද ව සිටියේ ය.

තුන්වෙනි වතාවට ත් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ඒ පුද්ගලයාට මෙය පැවසූහ.

“ආයුෂ්මත, නැගිටිනු. භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි ය. ඔබට පිරිසිදු සංඝයා සමඟ එකට වාසය කිරීමක් නැත්තේ ය.”

තුන්වෙනි වතාවට ත් ඒ පුද්ගලයා නිශ්ශබ්ද ව සිටියේ ය.

ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ඒ පුද්ගලයා අතින් අල්ලාගෙන දොරටුවෙන් බැහැරට දමා දොර අගුලු දමා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

“ස්වාමීනී, මා විසින් ඒ පුද්ගලයා නෙරපන ලද්දේ ය. ස්වාමීනී, පිරිස පිරිසිදු ය. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට පාමොක් උදෙසන සේක්වා!”

“මොග්ගල්ලානයෙනි, ආශ්චර්යයෙකි. මොග්ගල්ලානයෙනි අද්භූතයෙකි. අතින් අල්ලාගන්නා තුරු ම ඒ හිස් පුරුෂයා වාඩි වී සිටියේ නොවැ.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, දැන් ඔබ ම පොහොය කරව්. පාමොක් උදෙසව්. මහණෙනි, අද පටන් මම පොහොය නොකරන්නෙමි. පාමොක් නොඋදෙසන්නෙමි. මහණෙනි, යම් කරුණකින් තථාගත තෙමේ අපිරිසිදු පිරිසෙහි පොහොය කරයි ද, පාමොක් උදෙසයි ද, එය නොසිදුවන දෙයකි. අවකාශ රහිත දෙයකි.

මහණෙනි, මහා සමුද්‍රයෙහි ආශ්චර්ය වූ ත්, අද්භූත වූ ත් කරුණු අටක් ඇත්තේ ය. එය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වසති. ඒ කවර අටක් ද යත්;

මහණෙනි, මහා සමුද්‍රය අනුපිළිවෙලින් ගැඹුරු වෙයි. අනුපිළිවෙලින් යටට නැමුණේ වෙයි. අනුපිළිවෙලින් ඉදිරියට බර වූයේ වෙයි. පටන් ගත් තැන ම ප්‍රපාතය නොවෙයි. මහණෙනි, යම් හෙයකින් මහා සමුද්‍රය අනුපිළිවෙලින් ගැඹුරු වෙයි ද, අනුපිළිවෙලින් යටට නැමුණේ වෙයි ද, අනුපිළිවෙලින් ඉදිරියට බර වූයේ වෙයි ද, පටන් ගත් තැන ම ප්‍රපාතය නොවෙයි ද, මහණෙනි, මෙය මහා සමුද්‍රයෙහි ඇති පළමු ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වසති.

….(පෙ)…. තව ද මහණෙනි, මහා සමුද්‍රය සුවිශාල සතුන්ට නිවාසය වෙයි. එහිලා මේ සත්වයෝ ය. එනම් තිමි ය, තිමිංගල ය, තිමිරපිංගල ය, අසුරයෝ ය, නාගයෝ ය, ගාන්ධර්වයෝ ය. මහා සමුද්‍රයේ යොදුන් සිය ගණන් ඇති ආත්මභාවයෝ ද, ….(පෙ)…. යොදුන් පන්සිය ගණන් ඇති ආත්මභාවයෝ ද ඇත්තාහු ය. මහණෙනි,, යම් හෙයකින් මහා සමුද්‍රය සුවිශාල සතුන්ට නිවාසය වෙයි ද, එහිලා මේ සත්වයෝ ය. එනම් තිමි ය, තිමිංගල ය, තිමිරපිංගල ය, අසුරයෝ ය, නාගයෝ ය, ගාන්ධර්වයෝ ය. මහා සමුද්‍රයේ යොදුන් සිය ගණන් ඇති ආත්මභාවයෝ ද, ….(පෙ)…. යොදුන් පන්සිය ගණන් ඇති ආත්මභාවයෝ ද ඇත්තාහු ද, මහණෙනි, මෙය මහා සමුද්‍රයෙහි ඇති අටවෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වසති.

මහණෙනි, මේ වනාහී මහා සමුද්‍රයෙහි ඇති ආශ්චර්ය වූ අද්භූත වූ කරුණු අට යි. ඒවා දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවා වාසය කරති.

එසෙයින් ම මහණෙනි, මේ ධර්ම විනයෙහි ත් ආශ්චර්ය වූ අදභූත වූ අට කරුණක් ඇත්තේ ය. ඒවා දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි ඇලී වාසය කරති. ඒ කවර අටක් ද යත්;

මහණෙනි, යම් සේ මහා සමුද්‍රය අනුපිළිවෙලින් ගැඹුරු වෙයි ද, අනුපිළිවෙලින් යටට නැමුණේ වෙයි ද, අනුපිළිවෙලින් ඉදිරියට බර වූයේ වෙයි ද, පටන් ගත් තැන ම ප්‍රපාතය නොවෙයි ද, එසෙයින් ම මහණෙනි, මේ ධර්ම විනයෙහි අනුපිළිවෙලින් හික්මීමක්, අනුපිළිවෙලින් ක්‍රියාවක්, අනුපිළිවෙල ප්‍රතිපදාවක් ඇත්තේ ය. පටන් ගත් තැනින් ම අරහත්වය සාක්ෂාත් නොවෙයි. මහණෙනි, යම් හෙයකින් මේ ධර්ම විනයෙහි අනුපිළිවෙලින් හික්මීමක්, අනුපිළිවෙලින් ක්‍රියාවක්, අනුපිළිවෙල ප්‍රතිපදාවක් ඇත්තේ ද, පටන් ගත් තැනින් ම අරහත්වය සාක්ෂාත් නොවෙයි ද, මහණෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති පළමු ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසති.

….(පෙ)…. මහණෙනි, යම් සේ මහා සමුද්‍රය සුවිශාල සතුන්ට නිවාසය වෙයි ද, එහිලා මේ සත්වයෝ ය. එනම් තිමි ය, තිමිංගල ය, තිමිරපිංගල ය, අසුරයෝ ය, නාගයෝ ය, ගාන්ධර්වයෝ ය. මහා සමුද්‍රයේ යොදුන් සිය ගණන් ඇති ආත්මභාවයෝ ද, ….(පෙ)….. යොදුන් පන්සිය ගණන් ඇති ආත්මභාවයෝ ද ඇත්තාහු ද, එසෙයින් ම මහණෙනි, මේ ධර්ම විනය ද සුවිශාල සත්වයන්ට ආවාස වෙයි. එහිලා මේ සත්වයෝ ය. සෝවාන් වූ කෙනා ය, සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, ….(පෙ)…. රහතන් වහන්සේ ය. අරහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය. මහණෙනි, යම් හෙයකින් මේ ධර්ම විනය ද සුවිශාල සත්වයන්ට ආවාස වෙයි ද, එහිලා මේ සත්වයෝ ය. සෝවාන් වූ කෙනා ය, සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය, ….(පෙ)…. රහතන් වහන්සේ ය. අරහත් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් කෙනා ය වශයෙන් මහා සත්වයෝ සිටිත් ද, මහණෙනි, මෙය මේ ධර්ම විනයෙහි ඇති අටවෙනි ආශ්චර්ය අද්භූත කරුණ යි. මෙය දැක දැක භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසති.

මහණෙනි, මේ ධර්ම විනයෙහි ඇති ආශ්චර්යය වූ, අද්භූත වූ ධර්මයන් අට මේවා ය. ඒවා දැක දැක ය භික්ෂූහු මේ ධර්ම විනයෙහි සිත් අලවා වසන්නේ.

සාදු! සාදු!! සාදු!!!

උපෝසථ සූත්‍රය නිමා විය.

දෙවෙනි මහා වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

වේරඤ්ජ සූත්‍රය, සීහ සූත්‍රය, ආජඤ්ඤ සූත්‍රය, ඛලුංක සූත්‍රය, මල සූත්‍රය, දූතෙය්‍ය සූත්‍රය, ඉත්ථි බන්ධන සූත්‍රය, පුරිස බන්ධන සූත්‍රය, පහාරාද සූත්‍රය සහ උපෝසථ සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයෙකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M