අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.2.2.1. හිරොත්තප්ප සුත්තං

7.2.2.1. ලැජ්ජා භය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පවට ලැජ්ජා භය නැති කල්හී, පවට ලැජ්ජා භය නැති තැනැත්තා හට ඉන්ද්‍රිය සංවරය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. ඉන්ද්‍රිය සංවරය නොමැති කල්හී, ඉන්ද්‍රිය සංවරය නැති තැනැත්තා හට සීලය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. සීලය නොමැති කල්හී, සිල් නැති තැනැත්තා හට සම්මා සමාධිය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. සම්මා සමාධිය නොමැති කල්හී, සම්මා සමාධිය නැති තැනැත්තා හට යථාභූත ඥානදර්ශනය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. යථාභූත ඥාන දර්ශනය නොමැති කල්හී, යථාභූත ඥානදර්ශනය නැති තැනැත්තා හට නිබ්බිදා විරාගය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. නිබ්බිදා විරාගය නොමැති කල්හී, නිබ්බිදා විරාගය නැති තැනැත්තා හට විමුක්ති ඥානදර්ශනය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. ගිලිහී ගිය අතුඉති ඇති, ගිලිහී ගිය කොළ ඇති රුකක් ඇත්තේ ය. ඒ රුකෙහි ගැලවුණු පොතු ත් වැඩී පිරිපුන් බවට නොයයි. ඇතුල් සිවිය ත්, එළය ත්, අරටුව ත් වැඩී පිරිපුන් බවට නොයයි. එසෙයින් ම මහණෙනි, පවට ලැජ්ජා භය නැති කල්හී, පවට ලැජ්ජා භය නැති තැනැත්තා හට ඉන්ද්‍රිය සංවරය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි. …(පෙ)…. විමුක්ති ඥානදර්ශනය නැමැති හේතු සම්පත් නැසුණේ වෙයි.

මහණෙනි, පවට ලැජ්ජා භය ඇති කල්හී, පවට ලැජ්ජා භය ඇති තැනැත්තා හට ඉන්ද්‍රිය සංවරය නැමැති හේතු සම්පත් ඇත්තේ වෙයි. ඉන්ද්‍රිය සංවරය ඇති කල්හී, ඉන්ද්‍රිය සංවරය ඇති තැනැත්තා හට සීලය නැමැති හේතු සම්පත් ඇත්තේ වෙයි. සීලය ඇති කල්හී, සිල්වත් තැනැත්තා හට සම්මා සමාධිය නැමැති හේතු සම්පත් ඇත්තේ වෙයි. සම්මා සමාධිය ඇති කල්හී, සම්මා සමාධිය ඇති තැනැත්තා හට යථාභූත ඥානදර්ශනය නැමැති හේතු සම්පත් ඇත්තේ වෙයි. යථාභූත ඥානදර්ශනය ඇති කල්හී, යථාභූත ඥාන දර්ශනය ඇති තැනැත්තා හට නිබ්බිදා විරාගය නැමැති හේතු සම්පත් ඇත්තේ වෙයි. නිබ්බිදා විරාගය ඇති කල්හී, නිබ්බිදා විරාගය ඇති තැනැත්තා හට විමුක්ති ඥානදර්ශනය නැමැති හේතු සම්පත් ඇත්තේ වෙයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. මැනැවින් වැඩී ගිය අතුඉති ඇති, මැනැවින් වැඩී ගිය කොළ ඇති රුකක් ඇත්තේ ය. ඒ රුකෙහි පිට පොතු ත් වැඩී පිරිපුන් බවට යයි. ඇතුල් සිවිය ත්, එළය ත්, අරටුව ත් වැඩී පිරිපුන් බවට යයි. එසෙයින් ම මහණෙනි, පවට ලැජ්ජා භය ඇති කලහී, පවට ලැජ්ජා භය ඇති තැනැත්තා හට ඉන්ද්‍රිය සංවරය නැමැති හේතු සම්පත් ඇත්තේ වෙයි. ….(පෙ)…. විමුක්ති ඥානදර්ශනය නැමැති හේතු සම්පත් ඇත්තේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

හිරොත්තප්ප සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M