අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.5.6. විත්ථත සත්ත සඤ්ඤා සුත්තං

7.1.5.6. සවිස්තර සප්ත සංඥාව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, මේ සප්ත සංඥාවෝ මහත්ඵල මහානිශංස වෙති. නිවනට බැසගත්තාහු, නිවනින් අවසන් වන්නාහු වෙති. ඒ කවර සතක් ද යත්;

අසුභ සංඥාව ය, මරණ සංඥාව ය, ආහාරයෙහි පිළිකුල් සංඥාව ය, සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව ය, අනිත්‍ය සංඥාව ය, අනිත්‍යයෙහි දුක් සංඥාව ය, දුකෙහි අනාත්ම සංඥාව ය.

මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, මේ සප්ත සංඥාවෝ මහත්ඵල මහානිශංස වෙති. නිවනට බැසගත්තාහු, නිවනින් අවසන් වන්නාහු වෙති.

1. මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, අසුභ සංඥාව මහත්ඵල මහානිශංස වෙයි. නිවනට බැසගන්නේ වෙයි. නිවනින් අවසන් වන්නේ වෙයි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය කුමක් සඳහා පවසන ලද්දේ ද යත්;

මහණෙනි, අසුභ සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත මෙවුන්දම් සෙවීමේ අදහස ඉදිරියෙහි මිරිකී යයි. හැකිලෙයි. පෙරලී යයි. ඒ කෙරෙහි ඍජු ව නොසිටියි. උපේක්ෂාව හෝ පිළිකුල හෝ පිහිටයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. කුකුල් පිහාටුවක් හෝ නහර වැදැල්ලක් හෝ ගින්නට දැමූ කල්හී මිරිකී යයි. හැකිලෙයි. පෙරලී යයි. ඍජු ව නොසිටියි. එසෙයින් ම මහණෙනි, අසුභ සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත මෙවුන්දම් සෙවීමේ අදහස ඉදිරියෙහි මිරිකී යයි. හැකිලෙයි. පෙරලී යයි. ඒ කෙරෙහි ඍජු ව නොසිටියි. උපේක්ෂාව හෝ පිළිකුල හෝ පිහිටයි.

ඉදින් මහණෙනි, අසුභ සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත මෙවුන්දම් සෙවීමේ අදහස ඉදිරියෙහි එයට එකඟ වෙයි නම්, පිළිකුල හෝ නොපිහිටයි නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් එය මෙසේ දත යුත්තේ ය. ‘මා තුළ අසුභ සංඥාව දියුණු වී නැත්තේ ය. භාවනාවට පෙර සිටි අයුරින් ම අසුභ සංඥාව වැඩූ විට ත් විශේෂ ලාභයක් මට ලැබී නැත්තේ ය. භාවනාවෙහි ප්‍රතිඵලය මා විසින් නොලබන ලද්දේ ය’ යි. මෙසේ එහිලා හේ නුවණැතියෙක් වෙයි.

ඉදින් මහණෙනි, අසුභ සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත මෙවුන්දම් සෙවීමේ අදහස ඉදිරියෙහි මිරිකෙයි නම්, හැකිලෙයි නම්, පෙරලී යයි නම්, ඍජු ව නොසිටියි නම්, උපේක්ෂාව හෝ පිළිකුල හෝ පිහිටයි නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් එය මෙසේ දත යුත්තේ ය. ‘මා තුළ අසුභ සංඥාව දියුණු වී ඇත්තේ ය. මා හට පෙරට වඩා අසුභ සංඥාව වැඩූ විට විශේෂ ලාභයක් ලැබී ඇත්තේ ය. භාවනාවෙහි ප්‍රතිඵලය මා විසින් ලබන ලද්දේ ය’ යි. මෙසේ එහිලා හේ නුවණැතියෙක් වෙයි.

මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, අසුභ සංඥාව මහත්ඵල මහානිශංස වෙයි. නිවනට බැසගන්නේ වෙයි. නිවනින් අවසන් වන්නේ වෙයි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය මේ සඳහා පවසන ලද්දේ ය.

2. මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, මරණ සංඥාව මහත්ඵල මහානිශංස වෙයි. නිවනට බැසගන්නේ වෙයි. නිවනින් අවසන් වන්නේ වෙයි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය කුමක් සඳහා පවසන ලද්දේ ද යත්;

මහණෙනි, මරණ සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත ජීවිතය පිළිබඳ බලවත් ආශාව ඉදිරියෙහි මිරිකී යයි. හැකිලෙයි. පෙරලී යයි. ඒ කෙරෙහි ඍජු ව නොසිටියි. උපේක්ෂාව හෝ පිළිකුල හෝ පිහිටයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. කුකුල් පිහාටුවක් හෝ නහර වැදැල්ලක් හෝ ගින්නට දැමූ කල්හී මිරිකී යයි. හැකිලෙයි. පෙරලී යයි. ඒ කෙරෙහි ඍජු ව නොසිටියි. එසෙයින් ම මහණෙනි, මරණ සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත ජීවිතය පිළිබඳ බලවත් ආශාව ඉදිරියෙහි මිරිකී යයි. හැකිලෙයි. පෙරලී යයි. ඒ කෙරෙහි ඍජු ව නොසිටියි. උපේක්ෂාව හෝ පිළිකුල හෝ පිහිටයි.

ඉදින් මහණෙනි, මරණ සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත ජීවිතය පිළිබඳ බලවත් ආශාව ඉදිරියෙහි එයට එකඟ වෙයි නම්, පිළිකුල හෝ නොපිහිටයි නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් එය මෙසේ දත යුත්තේ ය. ‘මා තුළ මරණ සංඥාව දියුණු වී නැත්තේ ය. භාවනාවට පෙර සිටි පරිද්දෙන් මරණ සංඥාව වැඩූ විට ත් විශේෂ ලාභයක් මට ලැබී නැත්තේ ය. භාවනාවෙහි ප්‍රතිඵලය මා විසින් නොලබන ලද්දේ ය’ යි. මෙසේ එහිලා හේ නුවණැතියෙක් වෙයි.

ඉදින් මහණෙනි, මරණ සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත ජීවිතය පිළිබඳ බලවත් ආශාව ඉදිරියෙහි මිරිකෙයි නම්, හැකිලෙයි නම්, පෙරලී යයි නම්, ඒ කෙරෙහි ඍජු ව නොසිටියි නම්, උපේක්ෂාව හෝ පිළිකුල හෝ පිහිටයි නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් එය මෙසේ දත යුත්තේ ය. ‘මා තුළ මරණ සංඥාව දියුණු වී ඇත්තේ ය. මා හට පෙරට වඩා මරණ සංඥාව වැඩූ විට විශේෂ ලාභයක් ලැබී ඇත්තේ ය. භාවනාවෙහි ප්‍රතිඵලය මා විසින් ලබන ලද්දේ ය’ යි. මෙසේ එහිලා හේ නුවණැතියෙක් වෙයි.

මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, මරණ සංඥාව මහත්ඵල මහානිශංස වෙයි. නිවනට බැසගන්නේ වෙයි. නිවනින් අවසන් වන්නේ වෙයි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය මේ සඳහා පවසන ලද්දේ ය.

3. මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, ආහාරයෙහි පිළිකුල් සංඥාව මහත්ඵල මහානිශංස වෙයි. නිවනට බැසගන්නේ වෙයි. නිවනින් අවසන් වන්නේ වෙයි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය කුමක් සඳහා පවසන ලද්දේ ද යත්;

මහණෙනි, ආහාරයෙහි පිළිකුල් සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත රස තණ්හාව ඉදිරියෙහි මිරිකී යයි. හැකිලෙයි. පෙරලී යයි. ඒ කෙරෙහි ඍජු ව නොසිටියි. උපේක්ෂාව හෝ පිළිකුල හෝ පිහිටයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. කුකුල් පිහාටුවක් හෝ නහර වැදැල්ලක් හෝ ගින්නට දැමූ කල්හී මිරිකී යයි. හැකිලෙයි. පෙරලී යයි. ඍජු ව නොසිටියි. එසෙයින් ම මහණෙනි, ආහාරයෙහි පිළිකුල් සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත රස තණ්හාව ඉදිරියෙහි මිරිකී යයි. හැකිලෙයි. පෙරලී යයි. ඒ කෙරෙහි ඍජු ව නොසිටියි. උපේක්ෂාව හෝ පිළිකුල හෝ පිහිටයි.

ඉදින් මහණෙනි, ආහාරයෙහි පිළිකුල් සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත රස තණ්හාව ඉදිරියෙහි එයට එකඟ වෙයි නම්, පිළිකුල හෝ නොපිහිටයි නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් එය මෙසේ දත යුත්තේ ය. ‘මා තුළ ආහාරයෙහි පිළිකුල් සංඥාව දියුණු වී නැත්තේ ය. භාවනාවට පෙර සිටි අයුරින් ආහාරයෙහි පිළිකුල් සංඥාව වැඩූ විට ත් විශේෂ ලාභයක් මට ලැබී නැත්තේ ය. භාවනාවෙහි ප්‍රතිඵලය මා විසින් නොලබන ලද්දේ ය’ යි. මෙසේ එහිලා හේ නුවණැතියෙක් වෙයි.

ඉදින් මහණෙනි, ආහාරයෙහි පිළිකුල් සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත රස තණ්හාව ඉදිරියෙහි මිරිකෙයි නම්, හැකිලෙයි නම්, පෙරලී යයි නම්, ඒ කෙරෙහි ඍජු ව නොසිටියි නම්, උපේක්ෂාව හෝ පිළිකුල හෝ පිහිටයි නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් එය මෙසේ දත යුත්තේ ය. ‘මා තුළ ආහාරයෙහි පිළිකුල් සංඥාව දියුණු වී ඇත්තේ ය. මා හට පෙරට වඩා ආහාරයෙහි පිළිකුල් සංඥාව වැඩූ විට විශේෂ ලාභයක් ලැබී ඇත්තේ ය. භාවනාවෙහි ප්‍රතිඵලය මා විසින් ලබන ලද්දේ ය’ යි. මෙසේ එහිලා හේ නුවණැතියෙක් වෙයි.

මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, ආහාරයෙහි පිළිකුල් සංඥාව මහත්ඵල මහානිශංස වෙයි. නිවනට බැසගන්නේ වෙයි. නිවනින් අවසන් වන්නේ වෙයි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය මේ සඳහා පවසන ලද්දේ ය.

4. මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව මහත්ඵල මහානිශංස වෙයි. නිවනට බැසගන්නේ වෙයි. නිවනින් අවසන් වන්නේ වෙයි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය කුමක් සඳහා පවසන ලද්දේ ද යත්;

මහණෙනි, සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත විවිධ ලෝකයන් ගැන සිතන කල්හී එය ඉදිරියෙහි මිරිකී යයි. හැකිලෙයි. පෙරලී යයි. ඒ කෙරෙහි ඍජු ව නොසිටියි. උපේක්ෂාව හෝ පිළිකුල හෝ පිහිටයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. කුකුල් පිහාටුවක් හෝ නහර වැදැල්ලක් හෝ ගින්නට දැමූ කල්හී මිරිකී යයි. හැකිලෙයි. පෙරලී යයි. ඍජු ව නොසිටියි. එසෙයින් ම මහණෙනි, සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත විවිධ ලෝකයන් ගැන සිතන කල්හී එය ඉදිරියෙහි මිරිකී යයි. හැකිලෙයි. පෙරලී යයි. ඒ කෙරෙහි ඍජු ව නොසිටියි. උපේක්ෂාව හෝ පිළිකුල හෝ පිහිටයි.

ඉදින් මහණෙනි, සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත විවිධ ලෝකයන් ගැන සිතන කල්හී එය ඉදිරියෙහි එයට එකඟ වෙයි නම්, පිළිකුල හෝ නොපිහිටයි නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් එය මෙසේ දත යුත්තේ ය. ‘මා තුළ සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව දියුණු වී නැත්තේ ය. භාවනාවට පෙර සිටි අයුරෙන් ම සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව වැඩූ විට ත් විශේෂ ලාභයක් මට ලැබී නැත්තේ ය. භාවනාවෙහි ප්‍රතිඵලය මා විසින් නොලබන ලද්දේ ය’ යි. මෙසේ එහිලා හේ නුවණැතියෙක් වෙයි.

ඉදින් මහණෙනි, සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත විවිධ ලෝකයන් ගැන සිතන කල්හී එය ඉදිරියෙහි මිරිකෙයි නම්, හැකිලෙයි නම්, පෙරලී යයි නම්, ඒ කෙරෙහි ඍජු ව නොසිටියි නම්, උපේක්ෂාව හෝ පිළිකුල හෝ පිහිටයි නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් එය මෙසේ දත යුත්තේ ය. ‘මා තුළ සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව දියුණු වී ඇත්තේ ය. මා හට පෙරට වඩා සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව වැඩූ විට විශේෂ ලාභයක් ලැබී ඇත්තේ ය. භාවනාවෙහි ප්‍රතිඵලය මා විසින් ලබන ලද්දේ ය’ යි. මෙසේ එහිලා හේ නුවණැතියෙක් වෙයි.

මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව මහත්ඵල මහානිශංස වෙයි. නිවනට බැසගන්නේ වෙයි. නිවනින් අවසන් වන්නේ වෙයි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය මේ සඳහා පවසන ලද්දේ ය.

5. මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, අනිත්‍ය සංඥාව මහත්ඵල මහානිශංස වෙයි. නිවනට බැසගන්නේ වෙයි. නිවනින් අවසන් වන්නේ වෙයි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය කුමක් සඳහා පවසන ලද්දේ ද යත්;

මහණෙනි, අනිත්‍ය සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියෙහි මිරිකී යයි. හැකිලෙයි. පෙරලී යයි. ඒ කෙරෙහි ඍජු ව නොසිටියි. උපේක්ෂාව හෝ පිළිකුල හෝ පිහිටයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. කුකුල් පිහාටුවක් හෝ නහර වැදැල්ලක් හෝ ගින්නට දැමූ කල්හී මිරිකී යයි. හැකිලෙයි. පෙරලී යයි. ඍජු ව නොසිටියි. එසෙයින් ම මහණෙනි, අනිත්‍ය සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියෙහි මිරිකී යයි. හැකිලෙයි. පෙරලී යයි. ඒ කෙරෙහි ඍජු ව නොසිටියි. උපේක්ෂාව හෝ පිළිකුල හෝ පිහිටයි.

ඉදින් මහණෙනි, අනිත්‍ය සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියෙහි එයට එකඟ වෙයි නම්, පිළිකුල හෝ නොපිහිටයි නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් එය මෙසේ දත යුත්තේ ය. ‘මා තුළ අනිත්‍ය සංඥාව දියුණු වී නැත්තේ ය. භාවනාවට පෙර සිටි අයුරින් ම අනිත්‍ය සංඥාව වැඩූ විට ත් විශේෂ ලාභයක් මට ලැබී නැත්තේ ය. භාවනාවෙහි ප්‍රතිඵලය මා විසින් නොලබන ලද්දේ ය’ යි. මෙසේ එහිලා හේ නුවණැතියෙක් වෙයි.

ඉදින් මහණෙනි, අනිත්‍ය සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුවගේ සිත ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඉදිරියෙහි මිරිකෙයි නම්, හැකිලෙයි නම්, පෙරලී යයි නම්, ඒ කෙරෙහි ඍජු ව නොසිටියි නම්, උපේක්ෂාව හෝ පිළිකුල හෝ පිහිටයි නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් එය මෙසේ දත යුත්තේ ය. ‘මා තුළ අනිත්‍ය සංඥාව දියුණු වී ඇත්තේ ය. මා හට පෙරට වඩා අනිත්‍ය සංඥාව වැඩූ විට විශේෂ ලාභයක් ලැබී ඇත්තේ ය. භාවනාවෙහි ප්‍රතිඵලය මා විසින් ලබන ලද්දේ ය’ යි. මෙසේ එහිලා හේ නුවණැතියෙක් වෙයි.

මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, අනිත්‍ය සංඥාව මහත්ඵල මහානිශංස වෙයි. නිවනට බැසගන්නේ වෙයි. නිවනින් අවසන් වන්නේ වෙයි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය මේ සඳහා පවසන ලද්දේ ය.

6. මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව මහත්ඵල මහානිශංස වෙයි. නිවනට බැසගන්නේ වෙයි. නිවනින් අවසන් වන්නේ වෙයි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය කුමක් සඳහා පවසන ලද්දේ ද යත්;

මහණෙනි, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුව හට අලස බව කෙරෙහි, කුසීත බව කෙරෙහි, භාවනාවෙන් සිත පිටතට යාම කෙරෙහි, ප්‍රමාදය කෙරෙහි, භාවනාවෙහි නොයෙදීම කෙරෙහි, ප්‍රත්‍යවෙක්ෂා නොකිරීම කෙරෙහි, කඩුවක් ඔසොවා ගත් වධකයෙකු කෙරෙහි බිය වන සෙයින් තියුණු වූ භය සංඥාවක් එළඹ සිටියේ වෙයි.

ඉදින් මහණෙනි, අනිත්‍යයෙහි දුක් සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුව හට අලස බව කෙරෙහි, කුසීත බව කෙරෙහි, භාවනාවෙන් සිත පිටතට යාම කෙරෙහි, ප්‍රමාදය කෙරෙහි, භාවනාවෙහි නොයෙදීම කෙරෙහි, ප්‍රත්‍යවෙක්ෂා නොකිරීම කෙරෙහි, කඩුවක් ඔසොවා ගත් වධකයෙකු කෙරෙහි බිය වන සෙයින් තියුණු වූ භය සංඥාවක් එළඹ නො සිටියේ නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් එය මෙසේ දත යුත්තේ ය. ‘මා තුළ අනිත්‍යයෙහි දුක් සංඥාව දියුණු වී නැත්තේ ය. භාවනාවට පෙර සිටි අයුරින් ම අනිත්‍යයෙහි දුක් සංඥාව වැඩූ විට ත් විශේෂ ලාභයක් මට ලැබී නැත්තේ ය. භාවනාවෙහි ප්‍රතිඵලය මා විසින් නොලබන ලද්දේ ය’ යි. මෙසේ එහිලා හේ නුවණැතියෙක් වෙයි.

ඉදින් මහණෙනි, අනිත්‍යයෙහි දුක් සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුව හට අලස බව කෙරෙහි, කුසීත බව කෙරෙහි, භාවනාවෙන් සිත පිටතට යාම කෙරෙහි, ප්‍රමාදය කෙරෙහි, භාවනාවෙහි නොයෙදීම කෙරෙහි, ප්‍රත්‍යවෙක්ෂා නොකිරීම කෙරෙහි, කඩුවක් ඔසොවා ගත් වධකයෙකු කෙරෙහි බිය වන සෙයින් තියුණු වූ භය සංඥාවක් එළඹ සිටියේ නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් එය මෙසේ දත යුත්තේ ය. ‘මා තුළ අනිත්‍යයෙහි දුක් සංඥාව දියුණු වී ඇත්තේ ය. මා හට පෙරට වඩා අනිත්‍යයෙහි දුක් සංඥාව වැඩූ විට විශේෂ ලාභයක් ලැබී ඇත්තේ ය. භාවනාවෙහි ප්‍රතිඵලය මා විසින් ලබන ලද්දේ ය’ යි. මෙසේ එහිලා හේ නුවණැතියෙක් වෙයි.

මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව මහත්ඵල මහානිශංස වෙයි. නිවනට බැසගන්නේ වෙයි. නිවනින් අවසන් වන්නේ වෙයි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය මේ සඳහා පවසන ලද්දේ ය.

7. මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, දුකෙහි අනාත්ම සංඥාව මහත්ඵල මහානිශංස වෙයි. නිවනට බැසගන්නේ වෙයි. නිවනින් අවසන් වන්නේ වෙයි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය කුමක් සඳහා පවසන ලද්දේ ද යත්;

මහණෙනි, දුකෙහි අනාත්ම සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුව හට මේ විඤ්ඤාණය සහිත කය පිළිබඳ ව ද, බාහිර සියළු නිමිති පිළිබඳ ව ද ‘මම’ ය, ‘මාගේ’ ය යන මාන්නය බැහැර වූ සිතක් ඇත්තේ වෙයි. ත්‍රිවිධ මාන්නය ඉක්මවා ගොස්, ශාන්ත වූ මැනැවින් මිදුණු සිතක් ඇත්තේ වෙයි.

ඉදින් මහණෙනි, දුකෙහි අනාත්ම සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුව හට මේ විඤ්ඤාණය සහිත කය පිළිබඳ ව ද, බාහිර සියළු නිමිති පිළිබඳ ව ද ‘මම’ ය, ‘මාගේ’ ය යන මාන්නය බැහැර වූ සිතක් නැත්තේ වෙයි නම්, ත්‍රිවිධ මාන්නය ඉක්මවා නොගියේ නම්, ශාන්ත වූ මැනැවින් මිදුණු සිතක් නැත්තේ නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් එය මෙසේ දත යුත්තේ ය. ‘මා තුළ දුකෙහි අනාත්ම සංඥාව දියුණු වී නැත්තේ ය. භාවනාවට පෙර සිටි අයුරින් ම දුකෙහි අනාත්ම සංඥාව වැඩූ විට ත් විශේෂ ලාභයක් මට ලැබී නැත්තේ ය. භාවනාවෙහි ප්‍රතිඵලය මා විසින් නොලබන ලද්දේ ය’ යි. මෙසේ එහිලා හේ නුවණැතියෙක් වෙයි.

ඉදින් මහණෙනි, දුකෙහි අනාත්ම සංඥාව මැනැවින් පුරුදු කළ සිතින් බහුල ව වාසය කරන භික්ෂුව හට මේ විඤ්ඤාණය සහිත කය පිළිබඳ ව ද, බාහිර සියළු නිමිති පිළිබඳ ව ද ‘මම’ ය, ‘මාගේ’ ය යන මාන්නය බැහැර වූ සිතක් ඇත්තේ වෙයි නම්, ත්‍රිවිධ මාන්නය ඉක්මවා ගියේ නම්, ශාන්ත වූ මැනැවින් මිදුණු සිතක් ඇත්තේ නම්, මහණෙනි, ඒ භික්ෂුව විසින් එය මෙසේ දත යුත්තේ ය. ‘මා තුළ දුකෙහි අනාත්ම සංඥාව දියුණු වී ඇත්තේ ය. මා හට පෙරට වඩා දුකෙහි අනාත්ම සංඥාව වැඩූ විට විශේෂ ලාභයක් ලැබී ඇත්තේ ය. භාවනාවෙහි ප්‍රතිඵලය මා විසින් ලබන ලද්දේ ය’ යි. මෙසේ එහිලා හේ නුවණැතියෙක් වෙයි.

මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, දුකෙහි අනාත්ම සංඥාව මහත්ඵල මහානිශංස වෙයි. නිවනට බැසගන්නේ වෙයි. නිවනින් අවසන් වන්නේ වෙයි යනුවෙන් යමක් පවසන ලද්දේ ද, එය මේ සඳහා පවසන ලද්දේ ය.

මහණෙනි, භාවිත කරන ලද, බහුල ව ප්‍රගුණ කරන ලද, මේ සප්ත සංඥාවෝ මහත්ඵල මහානිශංස වෙති. නිවනට බැසගත්තාහු, නිවනින් අවසන් වන්නාහු වෙති.

සාදු! සාදු!! සාදු!!!

විත්ථත සත්ත සඤ්ඤා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M