අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.5.4. මහායඤ්ඤ සුත්තං

7.1.5.4. මහා යාගය ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි උග්ගතසරීර නමැති බ්‍රාහ්මණාගේ මහා යාගයක් පිළියෙල වූයේ ය. යාගය සඳහා පන්සියයක් වෘෂභයෝ යාග කණුව අසල රැස් කරන ලද්දාහු ය. යාගය සඳහා පන්සියයක් තරුණ වස්සෝ යාග කණුව අසල රැස් කරන ලද්දාහු ය. යාගය සඳහා පන්සියයක් වැස්සියෝ යාග කණුව අසල රැස් කරන ලද්දාහු ය. යාගය සඳහා පන්සියයක් එළුවෝ යාග කණුව අසල රැස් කරන ලද්දාහු ය. යාගය සඳහා පන්සියයක් බැටළුවෝ යාග කණුව අසල රැස් කරන ලද්දාහු ය.

එකල්හී උග්ගතසරීර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් උග්ගතසරීර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“භවත් ගෞතමයන් වහන්ස, මා විසින් අසන ලද්දේ යාගය සඳහා මංගල ගින්න ගැනීම ත්, මංගල යාග කණුව එසවීම ත් මහත්ඵල මහානිශංස ඇති බව යි.”

“බ්‍රාහ්මණය, යාගය සඳහා මංගල ගින්න ගැනීම ත්, මංගල යාග කණුව එසවීම ත් මහත්ඵල මහානිශංස ඇති බව මා විසිනුත් අසන ලද්දේ ය.”

දෙවෙනි වතාවේ ත් ….(පෙ)…. තුන්වෙනි වතාවේ ත් උග්ගතසරීර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“භවත් ගෞතමයන් වහන්ස, මා විසින් අසන ලද්දේ යාගය සඳහා මංගල ගින්න ගැනීම ත්, මංගල යාග කණුව එසවීම ත් මහත්ඵල මහානිශංස ඇති බව යි.”

“බ්‍රාහ්මණය, යාගය සඳහා මංගල ගින්න ගැනීම ත්, මංගල යාග කණුව එසවීම ත් මහත්ඵල මහානිශංස ඇති බව මා විසිනුත් අසන ලද්දේ ය.”

“භවත් ගෞතමයන් වහන්සේගේ යම් ඇසීමක් ඇද්ද, අපගේ යම් ඇසීමක් ඇද්ද, ඒ සියල්ල හැම ලෙසින් ම සමාන යි නොවැ.”

මෙසේ පැවසූ කල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ උග්ගතසරීර බ්‍රාහ්මණයාට මෙය පැවසූහ.

“බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේගේ ඔය අයුරින් නොඇසිය යුතුයි. එනම් ‘භවත් ගෞතමයන් වහන්ස, මා විසින් අසන ලද්දේ යාගය සඳහා මංගල ගින්න ගැනීම ත්, මංගල යාග කණුව එසවීම ත් මහත්ඵල මහානිශංස ඇති බව යි’ කියා. බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේගෙන් ඇසිය යුත්තේ මේ අයුරිනුයි. ‘ස්වාමීනී, මම් වනාහී යාගය පිණිස මංගල ගින්න දල්වනු කැමැත්තෙමි. මංගල යාග කණුව ඔසවනු කැමැත්තෙමි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මට අවවාද කරන සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මට අනුශාසනා කරන සේක්වා! එය මට බොහෝ කල් හිත සුව පිණිස පවතින්නේ ය’ යනුවෙනි.”

එකල්හී උග්ගතසරීර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළේ ය.

“භවත් ගෞතමයන් වහන්ස, මම් වනාහී යාගය පිණිස මංගල ගින්න දල්වනු කැමැත්තෙමි. මංගල යාග කණුව ඔසවනු කැමැත්තෙමි. භවත් ගෞතමයන් වහන්සේ මට අවවාද කරන සේක්වා! භවත් ගෞතමයන් වහන්සේ මට අනුශාසනා කරන සේක්වා! එය මට බොහෝ කල් හිත සුව පිණිස පවතින්නේ ය.”

“බ්‍රාහ්මණය, යාගය පිණිස ගින්න දල්වන්නේ යාග ස්ථම්භය ඔසවන්නේ හැමට පෙර දුක් උපදවා දෙන, දුක් විපාක ඇති අකුසල් ආයුධ තුනක් උඩට ඔසොවයි. ඒ කවර තුනක් ද යත්; කය නම් වූ ආයුධය ය. වචනය නම් වූ ආයුධය ය. මනස නම් වූ ආයුධය ය.

බ්‍රාහ්මණය, යාගය පිණිස ගිනි දල්වන්නේ, යාගය පිණිස යාග ස්ථම්භය ඔසවන්නේ, යාගයට පෙර ම මෙබඳු සිතක් උපදවයි. එනම්, ‘යාගය උදෙසා මෙපමණ වෘෂභයෝ නසත්වා! යාගය උදෙසා මෙපමණ වස්සෝ නසත්වා! යාගය උදෙසා මෙපමණ වැස්සියෝ නසත්වා! යාගය උදෙසා මෙපමණ එළුවෝ නසත්වා! යාගය උදෙසා මෙපමණ බැටළුවෝ නසත්වා!’ යි. හේ පින් කරමි යි සිතා පව් කරයි. කුසල් කරමි යි සිතා අකුසල් කරයි. සුගති මාර්ගය සොයමි යි සිතා දුගති මාර්ගය සොයයි. බ්‍රාහ්මණය, යාගය උදෙසා ගිනි දල්වන්නේ, යාගය උදෙසා යාග ස්ථම්භය ඔසොවන්නේ කලින් ම දුක් උපදවන, දුක් විපාක ඇති අකුසල් වූ මේ පළමු මානසික ආයුධය ඔසොවයි.

තව ද බ්‍රාහ්මණය, යාගය පිණිස ගිනි දල්වන්නේ, යාගය පිණිස යාග ස්ථම්භය ඔසවන්නේ, යාගයට පෙර ම මෙබඳු වචනයක් කියයි. එනම්, ‘යාගය උදෙසා මෙපමණ වෘෂභයෝ නසත්වා! යාගය උදෙසා මෙපමණ වස්සෝ නසත්වා! යාගය උදෙසා මෙපමණ වැස්සියෝ නසත්වා! යාගය උදෙසා මෙපමණ එළුවෝ නසත්වා! යාගය උදෙසා මෙපමණ බැටළුවෝ නසත්වා!’ යි. හේ පින් කරමි යි සිතා පව් කරයි. කුසල් කරමි යි සිතා අකුසල් කරයි. සුගති මාර්ගය සොයමි යි සිතා දුගති මාර්ගය සොයයි. බ්‍රාහ්මණය, යාගය උදෙසා ගිනි දල්වන්නේ, යාගය උදෙසා යාග ස්ථම්භය ඔසොවන්නේ කලින් ම දුක් උපදවන, දුක් විපාක ඇති අකුසල් වූ මේ දෙවෙනි වාචසික ආයුධය ඔසොවයි.

තව ද බ්‍රාහ්මණය, යාගය පිණිස ගිනි දල්වන්නේ, යාගය පිණිස යාග ස්ථම්භය ඔසවන්නේ, යාගයට පෙර ම තමා පළමු කොට යාගය පිණිස වෘෂභයන් නසන්නට අරභයි. යාගයට පෙර ම තමා පළමු කොට යාගය පිණිස වස්සන් නසන්නට අරභයි. යාගයට පෙර ම තමා පළමු කොට යාගය පිණිස වැස්සියන් නසන්නට අරභයි. යාගයට පෙර ම තමා පළමු කොට යාගය පිණිස එළුවන් නසන්නට අරභයි. යාගයට පෙර ම තමා පළමු කොට යාගය පිණිස බැටළුවන් නසන්නට අරභයි. හේ පින් කරමි යි සිතා පව් කරයි. කුසල් කරමි යි සිතා අකුසල් කරයි. සුගති මාර්ගය සොයමි යි සිතා දුගති මාර්ගය සොයයි. බ්‍රාහ්මණය, යාගය උදෙසා ගිනි දල්වන්නේ, යාගය උදෙසා යාග ස්ථම්භය ඔසොවන්නේ කලින් ම දුක් උපදවන, දුක් විපාක ඇති අකුසල් වූ මේ තුන්වෙනි කායික ආයුධය ඔසොවයි.

බ්‍රාහ්මණය, යාගය පිණිස ගින්න දල්වන්නේ යාග ස්ථම්භය ඔසවන්නේ හැමට පෙර දුක් උපදවා දෙන, දුක් විපාක ඇති අකුසල් වූ මෙම ආයුධ තුන උඩට ඔසොවයි.

බ්‍රාහ්මණය, මේ තුන් වැදෑරුම් ගින්න අත්හළ යුත්තේ ය. දුරු කළ යුත්තේ ය. සේවනය නොකළ යුත්තේ ය. ඒ කවර තුනක් ද යත්; රාගය නම් වූ ගින්න ය. ද්වේෂය නම් වූ ගින්න ය. මෝහය නම් වූ ගින්න ය.

බ්‍රාහ්මණය, රාගය නම් වූ ගින්න අත්හළ යුත්තේ, දුරු කළ යුත්තේ, සේවනය නොකළ යුත්තේ මක් නිසා ද? බ්‍රාහ්මණය, රාගයට ඇලී ගිය, රාගයෙන් පීඩිත වූ, රාගයෙන් වෙළුණු සිත් ඇති තැනැත්තා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. මනසින් දුසිරිතෙහි හැසිරෙයි. හේ කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, මනසින් දුසිරිතෙහි හැසිර කය බිඳී මරණනින් මතු අපාය, දුර්ගති, විනිපාත නම් වූ නිරයෙහි උපදින්නේ ය. එනිසා මේ රාගය නම් වූ ගින්න අත්හළ යුත්තේ ය. දුරු කළ යුත්තේ ය. සේවනය නොකළ යුත්තේ ය.

මක් නිසා ද බ්‍රාහ්මණය, ද්වේෂය නම් වූ ගින්න ….(පෙ)…. බ්‍රාහ්මණය, මෝහය නම් වූ ගින්න අත්හළ යුත්තේ, දුරු කළ යුත්තේ, සේවනය නොකළ යුත්තේ මක් නිසා ද? බ්‍රාහ්මණය, මෝහයෙන් මුළා ව ගිය, මෝහයෙන් පීඩිත වූ, මෝහයෙන් වෙළුණු සිත් ඇති තැනැත්තා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. මනසින් දුසිරිතෙහි හැසිරෙයි. හේ කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, මනසින් දුසිරිතෙහි හැසිර කය බිඳී මරණනින් මතු අපාය, දුර්ගති, විනිපාත නම් වූ නිරයෙහි උපදින්නේ ය. එනිසා මේ ද්වේෂය නම් වූ ගින්න අත්හළ යුත්තේ ය. දුරු කළ යුත්තේ ය. සේවනය නොකළ යුත්තේ ය.

බ්‍රාහ්මණය, මේ වනාහී අත්හළ යුතු, දුරැලිය යුතු, නොසෙවිය යුතු තුන් ගින්න යි.

බ්‍රාහ්මණය, සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පූජා කොට මැනැවින් සුවසේ පරිහරණය කළ යුතු තුන් ගින්නක් ඇත්තේ ය. ඒ කවර තුන් ගින්නක් ද යත්, ආහුනෙය්‍ය ගින්න ය, ගෘහපති ගින්න ය, දක්ඛිණෙය්‍ය ගින්න ය.

බ්‍රාහ්මණය, ආහුනෙය්‍ය ගින්න යනු කුමක් ද? බ්‍රාහ්මණය, මෙහිලා යමෙකුට මව හෝ පියා හෝ යමෙක් වෙත් ද, බ්‍රාහ්මණය, මේ ආහුනෙය්‍ය ගින්න යැයි කියනු ලැබේ. එයට හේතුව කුමක් ද? බ්‍රාහ්මණය, මේ පුද්ගලයා මව්පියන් වෙතින් ආයේ ය. මව්පියන්ගෙන් උපන්නේ ය. එහෙයින් මේ ආහුනෙය්‍ය ගින්නට සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා මැනැවින් සුව සේ පරිහරණය කළ යුත්තේ ය.

බ්‍රාහ්මණය, ගෘහපති ගින්න යනු කුමක් ද? බ්‍රාහ්මණය, මෙහිලා යමෙකුට දරුවෝ හෝ බිරින්දෑවරු හෝ දාසයෝ හෝ මෙහෙකරුවෝ හෝ කම්කරුවෝ හෝ යමෙක් සිටිත් ද, බ්‍රාහ්මණය, මේ ගෘහපති ගින්න යැයි කියනු ලැබේ. එහෙයින් මේ ගෘහපති ගින්නට සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා මැනැවින් සුව සේ පරිහරණය කළ යුත්තේ ය.

බ්‍රාහ්මණය, දක්ඛිණෙය්‍ය ගින්න යනු කුමක් ද? බ්‍රාහ්මණය, මෙහිලා යම් මේ ශ්‍රමණබ්‍රාහ්මණවරු මද ප්‍රමාද දෙකෙන් වැළකී ඉවසීමෙන් හා කීකරුකමින් යුතුවූවාහු කෙනෙක් සිත දමනය කරති. තව කෙනෙක් සිත සංසිඳුවති. තව කෙනෙක් සිත පිරිනිවීමට පත් කරති. බ්‍රාහ්මණය, මේ දක්ඛිණෙය්‍ය ගින්න යැයි කියනු ලැබේ. එහෙයින් දක්ඛිණෙය්‍ය ගින්නට සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා මැනැවින් සුව සේ පරිහරණය කළ යුත්තේ ය.

බ්‍රාහ්මණය, සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා, මනාලෙස සුවසේ පරිහරණය කළ යුත්තේ මේ තුන් ගින්න ය.

බ්‍රාහ්මණය, ලී දර ආදියෙන් දල්වන ගින්න කලින් කල දැල්විය යුත්තේ ය. කලින් කල මධ්‍යස්ථ කළ යුත්තේ ය. කලින් කල නිවිය යුත්තේ ය. කලින් කල බැහැර දැමිය යුත්තේ ය.”

මෙසේ වදාළ කල්හී උග්ගතසරීර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර ය. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි ඇති තෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස මාව පිළිගන්නා සේක්වා!

භවත් ගෞතමයන් වහන්ස, ඒ මම පන්සියයක් වෘෂභයන් නිදහස් කරමි. ජීවිතය දෙමි. පන්සියයක් වස්සන් නිදහස් කරමි. ජීවිතය දෙමි. පන්සියයක් වැස්සියන් නිදහස් කරමි. ජීවිතය දෙමි. පන්සියයක් එළුවන් නිදහස් කරමි. ජීවිතය දෙමි. පන්සියයක් බැටළුවන් නිදහස් කරමි. ජීවිතය දෙමි. ඔවුහු නිල් තණ කත්වා! සිහිල් පැන් බොත්වා! ඔවුන් වෙත සිහිල් සුළං හමාවා!”

සාදු! සාදු!! සාදු!!!

මහායඤ්ඤ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M