අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.5.1. විඤ්ඤාණට්ඨිති සුත්තං

7.1.5.1. විඤ්ඤාණය පැවැත්ම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ විඤ්ඤාණය පවතින තැන් සතකි. ඒ කවර සතක් ද යත්;

1. මහණෙනි, නා නා කයෙන් යුතු, නා නා සංඥාවෙන් යුතු සත්වයෝ ඇත්තාහ. එනම්, මිනිස්සු ය. ඇතැම් දෙවිවරු ය. ඇතැම් විනිපාතිකයෝ ය. මෙය විඤ්ඤාණය පවතින පළමුවෙනි තැන යි.

2. මහණෙනි, නා නා කයෙන් යුතු, එක ම සංඥාවෙන් යුතු සත්වයෝ ඇත්තාහ. එනම්, පඨම ධ්‍යානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවිවරු බඳු ය. මෙය විඤ්ඤාණය පවතින දෙවෙනි තැන යි.

3. මහණෙනි, එක් අයුරු වූ කයෙන් යුතු, නා නා සංඥාවෙන් යුතු සත්වයෝ ඇත්තාහ. එනම්, ආභස්සර දෙවිවරු බඳු ය. මෙය විඤ්ඤාණය පවතින තෙවෙනි තැන යි.

4. මහණෙනි, එක් ස්වභාවයෙන් යුතු කයෙන් ද, එක් ස්වභාවයෙන් යුතු සංඥාවෙන් ද යුතු සත්වයෝ ඇත්තාහ. එනම්, සුභකිණ්ණ දෙවියෝ බඳු ය. මෙය විඤ්ඤාණය පවතින සිව්වෙනි තැන යි.

5. මහණෙනි, සියළු රූප සංඥාවන් ඉක්ම ගිය, ගොරෝසු සංඥාවන් නැති කර දැමූ නා නා සංඥාවන් නොමෙනෙහි කිරීමෙන් අනන්ත වූ ආකාසය යැයි මෙනෙහි කිරීමෙන් ආකාසානාඤ්චායතනයට පැමිණි සත්වයෝ ඇත්තාහ. මෙය විඤ්ඤාණය පවතින පස්වෙනි තැන යි.

6. මහණෙනි, සියළු ආකාසානාඤ්චායතනය ඉක්ම ගිය, අනන්ත වූ විඤ්ඤාණය යැයි මෙනෙහි කිරීමෙන් විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්වයෝ ඇත්තාහ. මෙය විඤ්ඤාණය පවතින හයවෙනි තැන යි.

7. මහණෙනි, සියළු විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගිය, කිසිවක් නැතැයි මෙනෙහි කිරීමෙන් ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්වයෝ ඇත්තාහ. මෙය විඤ්ඤාණය පවතින සත්වෙනි තැන යි.

මහණෙනි, මේ වනාහී විඤ්ඤාණය පවතින තැන් සත යි.

සාදු! සාදු!! සාදු!!!

විඤ්ඤාණට්ඨිති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M