☰
සැවැත් නුවර දී ය …..
මහණෙනි, කරුණු සතකින් සමන්විත වූ මිතුරා ඇසුරු කළ යුත්තේ ය. ඒ කවර කරුණු සතකින් ද යත්;
දීමට දුෂ්කර වූ දෙය දෙයි. කිරීමට දුෂ්කර වූ දෙය කරයි. ඉවසීමට දුෂ්කර වූ දෙය ඉවසයි. තමාගේ රහස් මිතුරාට කියයි. මිතුරාගේ රහස් රකියි. විපත්තියකදී අත් නොහරියි. ඔහුගේ වස්තුව ක්ෂය වීම හේතුවෙන් අවමන් නොකරයි.
මහණෙනි, මේ කරුණු සතෙන් සමන්විත වූ මිතුරා ඇසුරු කළ යුත්තේ ය.
(ගාථා)
1. දීමට දුෂ්කර වූ ධනය දෙයි. කිරීමට දුෂ්කර වූ දෙය මිතුරා වෙනුවෙන් කරයි. එමෙන් ම මිතුරා වෙනුවෙන් ඉවසිය නොහැකි වූ දුක්ඛිත වචනයන් ද අසා ඉවසයි.
2. ඔහුට තමාගේ රහස් කියයි. ඔහුගේ රහස් රකියි. විපතෙහි දී මිතුරා අත්නොහරියි. ඔහුගේ වස්තුව ක්ෂය වීම හේතුවෙන් අවමන් නොකරයි.
3. මෙහිලා යම් පුද්ගලයෙකු කෙරෙහි මේ ලක්ෂණයන් දකින්නට ලැබෙයි ද, හේ මිතුරෙකි. මිතුරන් කැමැත්තා විසින් එබඳු වූවෙකු භජනය කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
මිත්ත සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M