අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.3.9. උපාසක අපරිහානීය සුත්තං

7.1.3.9. උපාසක නොපිරිහෙන කරුණු ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, උපාසකයාගේ පිරිහීම පිණිස මේ කරුණු සත හේතු වෙයි. ඒ කවර කරුණු සතක් ද යත්;

භික්ෂූන් දකින්නට නොයයි. සද්ධර්ම ශ්‍රවණයට ප්‍රමාද වෙයි. උසස් සීලයෙහි නොහික්මෙයි. ස්ථවිර භික්ෂූන් කෙරෙහි ත්, මධ්‍යම භික්ෂූන් කෙරෙහි ත්, නවක භික්ෂූන් කෙරෙහි ත් අප්‍රසාදය බහුල වෙයි. වැරදි සොයන අදහසින්, දොස් දක්නා සිතින් බණ අසයි. මේ සසුනෙන් බැහැර ව පින් සළකා දන් දිය යුතු අය සොයයි, එහි ද වතාවත් ආදිය කරයි. බැහැර තැනකට ගිය කල්හි ද කලින් කළ පරිදි ම කටයුතු කරයි.

මහණෙනි, උපාසකයාගේ පිරිහීම පිණිස මේ කරුණු සත හේතු වෙයි.

මහණෙනි, උපාසකයාගේ නොපිරිහීම පිණිස මේ කරුණු සත හේතු වෙයි. ඒ කවර කරුණු සතක් ද යත්;

භික්ෂූන් දකින්නට යෑම අත් නොහරියි. සද්ධර්ම ශ්‍රවණයට ප්‍රමාද නොවෙයි. උසස් සීලයෙහි හික්මෙයි. ස්ථවිර භික්ෂූන් කෙරෙහි ත්, මධ්‍යම භික්ෂූන් කෙරෙහි ත්, නවක භික්ෂූන් කෙරෙහි ත් ප්‍රසාද බහුල වෙයි. වැරදි සොයන අදහසින් තොර ව දොස් දක්නා සිතින් තොරව බණ අසයි. මේ සසුනෙන් බැහැර ව පින් සළකා දන් දිය යුතු අය නොසොයයි, මෙසසුනෙහි ම වතාවත් කරයි. මෙහි දී මුල සිට ම එක අයුරින් කටයුතු කරයි.

මහණෙනි, උපාසකයාගේ නොපිරිහීම පිණිස මේ කරුණු සත හේතු වෙයි.

(ගාථා)

1. යම් උපාසකයෙක් වැඩූ සිත් ඇති භික්ෂූන්ගේ දැක්ම ද, ආර්ය ධර්මයෙහි ශ්‍රවණය ද පිරිහෙළයි නම්, අධිශීලයෙහි නොහික්මෙයි නම්,

2. භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය වැඩි වැඩියෙන් වඩයි නම්, දොස් සොයන සිතින් ධර්මය අසන්නට කැමති වෙයි නම්,

3. මේ සසුනෙන් බැහැර ව පින් සළකා දන් පිදිය යුතු උදවිය සොයා යයි නම්, එහිදී ම වතාවත් කරයි. එහිදි ද යම් උපාසකයෙක් පෙර පරිදි කටයුතු කරයි නම්,

4. පිරිහීම පිණිස පවතින මැනැවින් දෙසන ලද මේ කරුණු සත සේවනය කරන උපාසක තෙමේ සද්ධර්මයෙන් පිරිහී යයි.

5. යම් උපාසකයෙක් වැඩූ සිත් ඇති භික්ෂූන්ගේ දැක්ම ද, ආර්ය ධර්මයෙහි ශ්‍රවණය ද නොපිරිහෙළයි නම්, අධිශීලයෙහි හික්මෙයි නම්,

6. භික්ෂූන් කෙරෙහි ප්‍රසාදය වැඩි වැඩියෙන් වඩයි නම්, දොස් නොසොයන සිතින් ධර්මය අසන්නට කැමති වෙයි නම්,

7. මේ සසුනෙන් බැහැර ව පින් සළකා දන් පිදිය යුතු උදවිය සොයා නොයයි නම්, මෙසසුනෙහි වතාවත් කරයි. මෙහිදී යම් උපාසකයෙක් පෙර පරිදි කටයුතු කරයි නම්,

8. නොපිරිහීම පිණිස මැනැවින් දෙසන ලද මේ කරුණු සත සේවනය කරන උපාසක තෙමේ සද්ධර්මයෙන් නොපිරිහෙයි.

සාදු! සාදු!! සාදු!!!

උපාසක අපරිහානීය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M