අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.1.4. විත්ථත සත්ත බල සුත්තං

7.1.1.4. විස්තර සහිත සත් බලයන් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ බල සතකි. ඒ කවර සතක් ද යත්;

ශ්‍රද්ධා බලය, විරිය බලය, හිරි බලය, ඔත්තප්ප බලය, සති බලය, සමාධි බලය සහ ප්‍රඥා බලය යි.

1. මහණෙනි, ශ්‍රද්ධා බලය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සද්ධා ඇත්තේ වෙයි. තථාගතයන්ගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මහණෙනි, මෙය ශ්‍රද්ධා බලය යැයි කියනු ලැබේ.

2. මහණෙනි, වීරිය බලය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙයි. මහණෙනි, මෙය වීරිය බලය යැයි කියනු ලැබේ.

3. මහණෙනි, හිරි බලය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ලැජ්ජා ඇත්තේ වෙයි. කයින් දුසිරිත් කිරීමට ත්, වචනයෙන් දුසිරිත් කිරීමට ත්, සිතින් දුසිරිත් කිරීමට ත් ලැජ්ජා වෙයි. ලාමක අකුසල් දහම් ඇති කරගැනීමට ලැජ්ජා වෙයි. මහණෙනි, මෙය හිරි බලය යැයි කියනු ලැබේ.

4. මහණෙනි, ඔත්තප්ප බලය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා භය ඇත්තේ වෙයි. කයින් දුසිරිත් කිරීමට ත්, වචනයෙන් දුසිරිත් කිරීමට ත්, සිතින් දුසිරිත් කිරීමට ත් භය වෙයි. ලාමක අකුසල් දහම් ඇති කරගැනීමට භය වෙයි. මහණෙනි, මෙය ඔත්තප්ප බලය යැයි කියනු ලැබේ.

5. මහණෙනි, සති බලය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සිහි ඇත්තේ වෙයි. උතුම් සිහියෙන් හා අවස්ථාවෝචිත නුවණින් යුක්ත වූයේ වෙයි. බොහෝ කලකට පෙර කළ දෑ ත්, බොහෝ කලකට පෙර කියූ දෑ ත් සිහි කරයි. නැවත නැවත සිහි කරයි. මහණෙනි, මෙය සති බලය යැයි කියනු ලැබේ.

6. මහණෙනි, සමාධි බලය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. සතර වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ වෙයි. මහණෙනි, මෙය සමාධි බලය යැයි කියනු ලැබේ.

7. මහණෙනි, ප්‍රඥා බලය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙය ප්‍රඥා බලය යැයි කියනු ලැබේ.

මහණෙනි, මේ වනාහී බල සත යි.

(ගාථා)

1. ශ්‍රද්ධා බලය, විරිය බලය, හිරි බලය, ඔත්තප්ප බලය, සති බලය, සමාධි බලය සහ සත්වෙනි ප්‍රඥා බලය යි. මෙයින් බලවත් වූ නුවණැති භික්ෂුව සැප සේ වසයි.

2. හේ නුවණ යොදා ධර්මය විමසන්නේ ය. එහි අරුත් ප්‍රඥාවෙන් විදර්ශනා කරන්නේ ය. පහනක් නිවී යන සෙයින් සිතින් විමෝක්ෂය සාක්ෂාත් කරන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

විත්ථත සත්ත බල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M