සැවැත් නුවර දී ය …..
මහණෙනි, ‘භය’ යන මෙය කාමයන්ට කියන නමකි. මහණෙනි, ‘දුක’ යන මෙය කාමයන්ට කියන නමකි. මහණෙනි, ‘රෝගය’ යන මෙය කාමයන්ට කියන නමකි. මහණෙනි, ‘ගඬුව’ යන මෙය කාමයන්ට කියන නමකි. මහණෙනි, ‘ඇල්ම’ යන මෙය කාමයන්ට කියන නමකි. මහණෙනි, ‘මඩ’ යන මෙය කාමයන්ට කියන නමකි.
මහණෙනි, කාමයන්ට ‘භය’ යනුවෙන් පවසන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, කාමරාගයෙහි ඇළුණු ඡන්දරාගයෙන් බැඳුණු තැනැත්තා මෙලොවදී ඇතිවෙන භයෙනුත් නිදහස් නොවෙයි. පරලොව භයෙනුත් නිදහස් නොවෙයි. එනිසා ය කාමයන් හට ‘භය’ යන නාමය යෙදෙන්නේ. මහණෙනි, කුමක් හෙයින් ද ‘දුක’ යනුවෙන් ….(පෙ)…. ‘රෝගය’ යනුවෙන් ….(පෙ)…. ‘ගඬු’ යනුවෙන් ….(පෙ)…. ‘ඇල්ම’ යනුවෙන් ….(පෙ)…. මහණෙනි, කාමයන්ට ‘මඩ’ යනුවෙන් පවසන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, කාමරාගයෙහි ඇළුණු ඡන්දරාගයෙන් බැඳුණු තැනැත්තා මෙලොවදී ඇතිවෙන මඩෙනුත් නිදහස් නොවෙයි. පරලොව මඩෙනුත් නිදහස් නොවෙයි. එනිසාය කාමයන් හට ‘මඩ’ යන නාමය යෙදෙන්නේ.
(ගාථා)
භයකි. දුකක් ද වෙයි. රෝගයක් ද වෙයි. ගඬුවකි. ඇලීම හා මඩ යන දෙකෙන් ද යුක්ත ය. යම් පෘථග්ජනයෙක් මෙහි ඇලී සිටිත් ද, එහෙයින් මෙයට කාමයෝ යැයි කියනු ලැබේ.
උපත හා මරණය උපදවා දෙන කෙලෙසුන්ට ග්‍රහණය වීමේ බිය දැක ඉපදෙන මැරෙන දෙය නැති නිවනට පැමිණ සත්වයෝ දුකින් නිදහස් වෙත් ද,
ඔවුහු නිර්භය ස්ථානයට පැමිණියාහු ය. සැපයට පත්වූවාහු ය. මෙලොව දී ම නිවී ගියාහු ය. සියළු භය වෛර ඉක්ම ගොස් සියළු දුක් ඉක්ම ගියාහු ය.
සාදු! සාදු!! සාදු!!!
භය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M