අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.5.1.1. කිම්බිල සුත්තං

5.5.1.1. කිම්බිල තෙරුන්ට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නුවර සමීපයෙහි මිදෙල්ල වනයෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් කිම්බිල තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කලක් නොපවතින්නේ නම්, එයට හේතුව කුමක් ද? එයට ප්‍රත්‍යය කුමක් ද?”

“කිම්බිලය, මෙහිලා තථාගතයන් පිරිනිවන් පෑ කල්හී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරවයෙන්, යටහත් පැවතුම් නැති ව වාසය කරත් ද, ධර්මය කෙරෙහි අගෞරවයෙන්, යටහත් පැවතුම් නැති ව වාසය කරත් ද, සංඝයා කෙරෙහි අගෞරවයෙන්, යටහත් පැවතුම් නැති ව වාසය කරත් ද, ශික්ෂාව කෙරෙහි අගෞරවයෙන්, යටහත් පැවතුම් නැති ව වාසය කරත් ද, එකිනෙකා කෙරෙහි අගෞරවයෙන්, යටහත් පැවතුම් නැති ව වාසය කරත් ද, කිම්බිල, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කලක් නොපවතින්නේ නම්, එයට හේතුව මෙය යි. එයට ප්‍රත්‍යය මෙය යි.”

“ස්වාමීනී, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කලක් පවතින්නේ නම්, එයට හේතුව කුමක් ද? එයට ප්‍රත්‍යය කුමක් ද?”

“කිම්බිලය, මෙහිලා තථාගතයන් පිරිනිවන් පෑ කල්හී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන්, යටහත් පැවතුම් ඇති ව වාසය කරත් ද, ධර්මය කෙරෙහි ගෞරවයෙන්, යටහත් පැවතුම් ඇති ව වාසය කරත් ද, සංඝයා කෙරෙහි ගෞරවයෙන්, යටහත් පැවතුම් ඇති ව වාසය කරත් ද, ශික්ෂාව කෙරෙහි ගෞරවයෙන්, යටහත් පැවතුම් ඇති ව වාසය කරත් ද, එකිනෙකා කෙරෙහි ගෞරවයෙන්, යටහත් පැවතුම් ඇති ව වාසය කරත් ද, කිම්බිල, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළ කල්හී සද්ධර්මය බොහෝ කලක් පවතින්නේ නම්, එයට හේතුව මෙය යි. එයට ප්‍රත්‍යය මෙය යි.”

සාදු! සාදු!! සාදු!!!

කිම්බිල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M