අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.4.9. අක්ඛම සුත්තං

5.3.4.9. නොඉවසීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, රජුගේ හස්තියා කරුණු පසකින් යුක්ත වූයේ රාජ යෝග්‍ය නොවෙයි. රාජ පරිහරණයට සුදුසු නොවෙයි. රාජකීය අංගයක් ය යන සංඛ්‍යාවට නොවැටෙන්නේ වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා රූපයන් නොඉවසන්නේ වෙයි. ශබ්දයන් නොඉවසන්නේ වෙයි. ගන්ධයන් නොඉවසන්නේ වෙයි. රසයන් නොඉවසන්නේ වෙයි. ස්පර්ශයන් නොඉවසන්නේ වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා රූපයන් නොඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා යුද බිමට පිවිසියේ ඇත් සේනාව හෝ දැක, අශ්ව සේනාව හෝ දැක, රථ සේනාව හෝ දැක, පාබල සේනාව හෝ දැක කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. දැඩි ව සිටින්නට නොහැකි වෙයි. සංග්‍රාම භූමියට බැසගන්නට නොහැකි වෙයි. මහණෙනි, මෙසේ රජුගේ හස්තියා රූපයන් නොඉවසන්නේ වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා ශබ්දයන් නොඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා යුද බිමට පිවිසියේ හස්ති නාදය හෝ අසා, අශ්ව නාදය හෝ අසා, රථ ශබ්දය හෝ අසා, පාබල හඬ හෝ අසා, බෙර හඬ, පනා බෙර හඬ, සක් හඬ, තූර්යනාද හඬ ආදිය අසා කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. දැඩි ව සිටින්නට නොහැකි වෙයි. සංග්‍රාම භූමියට බැසගන්නට නොහැකි වෙයි. මහණෙනි, මෙසේ රජුගේ හස්තියා ශබ්දයන් නොඉවසන්නේ වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා ගන්ධයන් නොඉවසන්නේ කෙසේ ද? මහණෙනි, රජුගේ හස්තියා යුද බිමට පිවිසියේ යම් ඒ රජුගේ අභිජාත හස්තීහු සංග්‍රාමයෙහි බැසගෙන සිටිත් ද, ඔවුන්ගේ මල මුත්‍ර ගන්ධය ආඝ්‍රාණය කොට කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. දැඩි ව සිටින්නට නොහැකි වෙයි. සංග්‍රාම භූමියට බැසගන්නට නොහැකි වෙයි. මහණෙනි, මෙසේ රජුගේ හස්තියා ගන්ධයන් නොඉවසන්නේ වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා රසයන් නොඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා යුද බිමට පිවිසියේ එක් දිනකට හෝ තෘණ ජලය ආදිය නොලැබීමෙන්, දින දෙකකින් හෝ, තුනකින් හෝ, හතරකින් හෝ, පහකින් හෝ තෘණ ජලය ආදිය නොලැබීමෙන් කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. දැඩි ව සිටින්නට නොහැකි වෙයි. සංග්‍රාම භූමියට බැසගන්නට නොහැකි වෙයි. මහණෙනි, මෙසේ රජුගේ හස්තියා රසයන් නොඉවසන්නේ වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා ස්පර්ශයන් නොඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා යුද බිමට පිවිසියේ එක් හී පහරකින් හෝ විදුම් කන ලද්දේ, ඊ පහර දෙකකින් හෝ තුනකින් හෝ සතරකින් හෝ පහකින් හෝ විදුම් කන ලද්දේ කම්පා වෙයි. විශේෂයෙන් කම්පා වෙයි. දැඩි ව සිටින්නට නොහැකි වෙයි. සංග්‍රාම භූමියට බැසගන්නට නොහැකි වෙයි. මහණෙනි, මෙසේ රජුගේ හස්තියා ස්පර්ශයන් නොඉවසන්නේ වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා මේ කරුණු පසෙන් යුක්ත වූයේ රාජ යෝග්‍ය නොවෙයි. රාජ පරිහරණයට සුදුසු නොවෙයි. රාජකීය අංගයක් ය යන සංඛ්‍යාවට නොවැටෙන්නේ වෙයි.

මෙසෙයින් ම මහණෙනි, අංග පසකින් සමන්විත වූ භික්ෂුව ආහුණෙය්‍ය නොවෙයි. පාහුණෙය්‍ය නොවෙයි. දක්ඛිණෙය්‍ය නොවෙයි. අංජලිකරණීය නොවෙයි. ලෝකයාගේ අනුත්තර පින්කෙත ද නොවෙයි. ඒ කවර අංග පසකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව රූපයන් නොඉවසන්නේ වෙයි. ශබ්දයන් නොඉවසන්නේ වෙයි. ගන්ධයන් නොඉවසන්නේ වෙයි. රසයන් නොඉවසන්නේ වෙයි. ස්පර්ශයන් නොඉවසන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව රූපයන් නොඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක රාගය ඇති වන රූපය කෙරෙහි රාගය ඇති කර ගනියි. සිත සමාහිත කරගන්නට නොහැකි වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව රූපයන් නොඉවසන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව ශබ්දයන් නොඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කනින් ශබ්දයක් අසා රාගය ඇති වන ශබ්දය කෙරෙහි රාගය ඇති කර ගනියි. සිත සමාහිත කරගන්නට නොහැකි වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව ශබ්දයන් නොඉවසන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව ගන්ධයන් නොඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කොට රාගය ඇති වන ගන්ධය කෙරෙහි රාගය ඇති කර ගනියි. සිත සමාහිත කරගන්නට නොහැකි වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව ගන්ධයන් නොඉවසන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව රසයන් නොඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව දිවෙන් රසයක් විඳ රාගය ඇති වන රසය කෙරෙහි රාගය ඇති කර ගනියි. සිත සමාහිත කරගන්නට නොහැකි වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව රසයන් නොඉවසන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව ස්පර්ශයන් නොඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කයින් යමක් ස්පර්ශ කොට රාගය ඇති වන ස්පර්ශය කෙරෙහි රාගය ඇති කර ගනියි. සිත සමාහිත කරගන්නට නොහැකි වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව ස්පර්ශයන් නොඉවසන්නේ වෙයි.

මහණෙනි, මේ අංග පසෙන් සමන්විත වූ භික්ෂුව ආහුනෙය්‍ය නොවෙයි. පාහුනෙය්‍ය නොවෙයි. දක්ඛිණෙය්‍ය නොවෙයි. අංජලිකරණීය නොවෙයි. ලෝකයාගේ අනුත්තර පින්කෙත ද නොවෙයි.

මහණෙනි, රජුගේ හස්තියා කරුණු පසකින් යුක්ත වූයේ රාජ යෝග්‍ය වෙයි. රාජ පරිහරණයට සුදුසු වෙයි. රාජකීය අංගයක් ය යන සංඛ්‍යාවට වැටෙන්නේ වෙයි. ඒ කවර කරුණු පසකින් ද යත්;

මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා රූපයන් ඉවසන්නේ වෙයි. ශබ්දයන් ඉවසන්නේ වෙයි. ගන්ධයන් ඉවසන්නේ වෙයි. රසයන් ඉවසන්නේ වෙයි. ස්පර්ශයන් ඉවසන්නේ වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා රූපයන් ඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා යුද බිමට පිවිසියේ ඇත් සේනාව හෝ දැක, අශ්ව සේනාව හෝ දැක, රථ සේනාව හෝ දැක, පාබල සේනාව හෝ දැක කම්පා නොවෙයි. විශේෂයෙන් කම්පා නොවෙයි. දැඩි ව සිටියි. සංග්‍රාම භූමියට බැස ගන්නට හැකි වෙයි. මහණෙනි, මෙසේ රජුගේ හස්තියා රූපයන් ඉවසන්නේ වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා ශබ්දයන් ඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා යුද බිමට පිවිසියේ හස්ති නාදය හෝ අසා, අශ්ව නාදය හෝ අසා, රථ ශබ්දය හෝ අසා, පාබල හඬ හෝ අසා, බෙර හඬ, පනා බෙර හඬ, සක් හඬ, තූර්යනාද හඬ ආදිය අසා කම්පා නොවෙයි. විශේෂයෙන් කම්පා නොවෙයි. දැඩි ව සිටියි. සංග්‍රාම භූමියට බැසගන්නට හැකි වෙයි. මහණෙනි, මෙසේ රජුගේ හස්තියා ශබ්දයන් ඉවසන්නේ වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා ගන්ධයන් ඉවසන්නේ කෙසේ ද? මහණෙනි, රජුගේ හස්තියා යුද බිමට පිවිසියේ යම් ඒ රජුගේ අභිජාත හස්තීහු සංග්‍රාමයෙහි බැසගෙන සිටිත් ද, ඔවුන්ගේ මල මුත්‍ර ගන්ධය ආඝ්‍රාණය කොට කම්පා නොවෙයි. විශේෂයෙන් කම්පා නොවෙයි. දැඩි ව සිටියි. සංග්‍රාම භූමියට බැස ගන්නට හැකි වෙයි. මහණෙනි, මෙසේ රජුගේ හස්තියා ගන්ධයන් ඉවසන්නේ වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා රසයන් ඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා යුද බිමට පිවිසියේ එක් දිනකට හෝ තෘණ ජලය ආදිය නොලැබීමෙන්, දින දෙකකින් හෝ, තුනකින් හෝ, හතරකින් හෝ, පහකින් හෝ තෘණ ජලය ආදිය නොලැබීමෙන් කම්පා නොවෙයි. විශේෂයෙන් කම්පා නොවෙයි. දැඩි ව සිටියි. සංග්‍රාම භූමියට බැසගන්නට හැකි වෙයි. මහණෙනි, මෙසේ රජුගේ හස්තියා රසයන් ඉවසන්නේ වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා ස්පර්ශයන් ඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා යුද බිමට පිවිසියේ එක් හී පහරකින් හෝ විදුම් කන ලද්දේ, ඊ පහර දෙකකින් හෝ තුනකින් හෝ සතරකින් හෝ පහකින් හෝ විදුම් කන ලද්දේ කම්පා නොවෙයි. විශේෂයෙන් කම්පා නොවෙයි. දැඩි ව සිටියි. සංග්‍රාම භූමියට බැසගන්නට හැකි වෙයි. මහණෙනි, මෙසේ රජුගේ හස්තියා ස්පර්ශයන් ඉවසන්නේ වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා මේ කරුණු පසෙන් යුක්ත වූයේ රාජ යෝග්‍ය වෙයි. රාජ පරිහරණයට සුදුසු වෙයි. රාජකීය අංගයක් ය යන සංඛ්‍යාවට වැටෙන්නේ වෙයි.

මෙසෙයින් ම මහණෙනි, අංග පසකින් සමන්විත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි. පාහුණෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලෝකයාගේ අනුත්තර පින්කෙත ද වෙයි. ඒ කවර අංග පසකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව රූපයන් ඉවසන්නේ වෙයි. ශබ්දයන් ඉවසන්නේ වෙයි. ගන්ධයන් ඉවසන්නේ වෙයි. රසයන් ඉවසන්නේ වෙයි. ස්පර්ශයන් ඉවසන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව රූපයන් ඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක රාගය ඇති වන රූපය කෙරෙහි රාගය ඇති නොකර ගනියි. සිත සමාහිත කරගන්නට හැකි වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව රූපයන් ඉවසන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව ශබ්දයන් ඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කනින් ශබ්දයක් අසා රාගය ඇති වන ශබ්දය කෙරෙහි රාගය ඇති නොකර ගනියි. සිත සමාහිත කරගන්නට හැකි වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව ශබ්දයන් ඉවසන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව ගන්ධයන් ඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කොට රාගය ඇති වන ගන්ධය කෙරෙහි රාගය ඇති නොකර ගනියි. සිත සමාහිත කරගන්නට හැකි වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව ගන්ධයන් ඉවසන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව රසයන් ඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව දිවෙන් රසයක් විඳ රාගය ඇති වන රසය කෙරෙහි රාගය ඇති නොකර ගනියි. සිත සමාහිත කරගන්නට හැකි වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව රසයන් ඉවසන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව ස්පර්ශයන් ඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කයින් යමක් ස්පර්ශ කොට රාගය ඇති වන ස්පර්ශය කෙරෙහි රාගය ඇති නොකර ගනියි. සිත සමාහිත කරගන්නට හැකි වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව ස්පර්ශයන් ඉවසන්නේ වෙයි.

මහණෙනි, මේ අංග පසෙන් සමන්විත වූ භික්ෂුව ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලෝකයාගේ අනුත්තර පින්කෙත ද වෙයි.

සාදු! සාදු!! සාදු!!!

අක්ඛම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M