අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.4.10. සෝතාර සුත්තං

5.3.4.10. අසන්නා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, රජුගේ හස්තියා පස් කරුණකින් සමන්විත වූයේ රාජ යෝග්‍ය වෙයි. රාජ පරිහරණයට සුදුසු වෙයි. රාජකීය අංගයක් ය යන සංඛ්‍යාවට වැටෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;

මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා අසන්නේ ද වෙයි. නසන්නේ ද වෙයි. රකින්නේ ද වෙයි. ඉවසන්නේ ද වෙයි. යන්නේ ද වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා අසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතුන් පුහුණු කරන්නා රජුගේ හස්තියා ලවා කලින් කළ දෙයක් වේවා, නොකළ දෙයක් වේවා, යම් ම දෙයක් කරවයි නම් එහිදී ලැබෙන විධානය ඉතා ඕනෑකමින් මෙනෙහි කොට මුළු සිත ම යොමු කොට, යොමු කළ කන් ඇතිව අසන්නේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ හස්තියා අසන්නේ වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා නසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා යුද භූමියට පිවිසියේ ඇතා ත් නසයි. ඇතා පිට නැගි කෙනා ත් නසයි. අසු ත් නසයි. අසරුවා ත් නසයි. රථය ත් නසයි. රථයෙහි නැගි කෙනා ත් නසයි. පාබල සේනාවත් නසයි. මහණෙනි, මෙසේ රජුගේ හස්තියා නසන්නේ වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා රකින්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා යුද භූමියට ගියේ තමන්ගේ ඉදිරි කය රකින්නේ ය. පිටුපස කය ද රකින්නේ ය. ඉදිරි පා රකින්නේ ය. පසු පා රකින්නේ ය. හිස රකින්නේ ය. කන් රකින්නේ ය. දළ රකින්නේ ය. සොඬ රකින්නේ ය. වලිගය රකින්නේ ය. ඇතු පිට නැගි කෙනා රකින්නේ ය. මහණෙනි, මෙසේ රජුගේ හස්තියා රකින්නේ වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා ඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා රජුගේ හස්තියා ඉවසන්නේ වෙයි. සැත් පහර ද ඉවසයි. කඩු පහර ද ඉවසයි. හී පහර ද ඉවසයි. පොරෝ පහර ද ඉවසයි. බෙර, පනාබෙර, සක්බෙර, ගැටබෙර ආදී තූර්යයන්ගේ මහා හඬ ද ඉවසයි. මහණෙනි, මෙසේ රජුගේ හස්තියා ඉවසන්නේ වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා යන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා ඇතුන් පුහුණු කරන්නා රජුගේ හස්තියා කලින් ගිය දිශාවකට වේවා, නොගිය දිශාවකට වේවා, යම් ම දිශාවකට මෙහෙයවයි නම් ඒ දිශාව කරා වහා යන්නේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ හස්තියා යන්නේ වෙයි.

මහණෙනි, රජුගේ හස්තියා මේ පස් කරුණෙන් සමන්විත වූයේ රාජ යෝග්‍ය වෙයි. රාජ පරිහරණයට සුදුසු වෙයි. රාජකීය අංගයක් ය යන සංඛ්‍යාවට වැටෙයි.

මෙසෙයින් ම මහණෙනි, අංග පසකින් සමන්විත වූ භික්ෂුව ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලෝකයාගේ අනුත්තර පින්කෙත ද වෙයි. ඒ කවර අංග පසකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව අසන්නේ ද වෙයි. නසන්නේ ද වෙයි. රකින්නේ ද වෙයි. ඉවසන්නේ ද වෙයි. යන්නේ ද වෙයි.

මහණෙනි, භික්ෂුව අසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්ම විනය දේශනා කරනු ලබන කල්හී ඉතා ඕනෑකමින් යුතුව මෙනෙහි කොට, මුළු සිත ම එයට යොමු කොට, යොමු කළ කන් ඇතිව ධර්මය අසයි. මහණෙනි, මෙසේ භික්ෂුව අසන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව නසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව උපන් කාම විතර්කය නොඉවසයි. දුරු කරයි. බැහැර කරයි. නැති කරයි. අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාද විතර්කය නොඉවසයි. දුරු කරයි. බැහැර කරයි. නැති කරයි. අභාවයට පමුණුවයි. උපන් විහිංසා විතර්කය නොඉවසයි. දුරු කරයි. බැහැර කරයි. නැති කරයි. අභාවයට පමුණුවයි. ව උපනූපන් පාපී අකුසල් දහම් නොඉවසයි. දුරු කරයි. බැහැර කරයි. නැති කරයි. අභාවයට පමුණුවයි. මහණෙනි, මෙසේ භික්ෂුව නසන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව රකින්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක සළකුණු නොගන්නේ වෙයි. සළකුණක කොටසක් හෝ නොගන්නේ වෙයි. යම් කරුණක් හේතුවෙන් ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කරද්දී ලෝභය ද්වේෂය ආදී පවිටු අකුසල් තමා පසුපස හඹා එයි ද, ඒ ඇසෙහි සංවරය පිණිස පිළිපන්නේ වෙයි. ඇස නම් වූ ඉන්ද්‍රිය රකියි. ඇස නම් වූ ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. කනින් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රසයක් විඳ ….(පෙ)…. කයෙන් පහසක් ලබා ….(පෙ)…. මනසින් අරමුණක් දැන සළකුණු නොගන්නේ වෙයි. සළකුණක කොටසක් හෝ නොගන්නේ වෙයි. යම් කරුණක් හේතුවෙන් මනස නම් වූ ඉන්ද්‍රිය අසංවර ව වාසය කරද්දී ලෝභය ද්වේෂය ආදී පවිටු අකුසල් තමා පසුපස හඹා එයි ද, ඒ මනසෙහි සංවරය පිණිස පිළිපන්නේ වෙයි. මනස නම් වූ ඉන්ද්‍රිය රකියි. මනස නම් වූ ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව රකින්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව ඉවසන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ඉවසන්නේ වෙයි. සීත ද, රස්නය ද, බඩගින්න ද, පිපාසය ද, මැසි මදුරුවන් ගෙන්, අව් සුළං වලින්, සර්පාදීන්ගෙන් ලැබෙන කටුක පහස ඉවසන්නේ වෙයි. නපුරු ලෙස කියූ, නපුරු ලෙස පැමිණි නපුරු වචනයන් ඉවසන්නේ වෙයි. උපන්නා වූ තියුණු වූ රළු වූ කටුක වූ අමිහිරි වූ අමනාප වූ මාරාන්තික වූ ශාරීරික වේදනා ඉවසන සුළු වූයේ වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව ඉවසන්නේ වෙයි.

මහණෙනි, භික්ෂුව යන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා භික්ෂුව යම් මේ දිශාවක් මේ දීර්ඝ සසරෙහි නොගිය විරූ වෙයි ද, එනම් යම් මේ සියළු සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇද්ද, සියළු උපධීන්ගේ දුරු වීමක් ඇද්ද, සියළු තෘෂ්ණාවන්ගේ ක්ෂය වීමක් ඇද්ද, විරාගයක් ඇද්ද, නිරෝධයක් ඇද්ද, නිවනක් ඇද්ද, ඒ නිවන ඇති දිශාවට වහා යන්නේ වෙයි. මහණෙනි, මෙසේ භික්ෂුව යන්නේ වෙයි.

මහණෙනි, මේ අංග පසින් සමන්විත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි. පාහුණෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අංජලිකරණීය වෙයි. ලෝකයාගේ අනුත්තර පින්කෙත ද වෙයි.

සාදු! සාදු!! සාදු!!!

සෝතාර සූත්‍රය නිමා විය.

සිව්වෙනි රාජ වර්ගය අවසන් විය.

එහි පිළිවෙළ උද්දානය යි :

චක්කානුවත්තන සූත්‍ර දෙක, ධම්මරාජ සූත්‍රය, දිසා සූත්‍රය, පත්ථනා සූත්‍ර දෙක, අප්පංසුපති සූත්‍රය, භත්තාද සූත්‍රය, අක්ඛම සූත්‍රය සහ සෝතාර සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M