අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.4.6. දුතිය පත්ථනා සුත්තං

5.3.4.6. ප්‍රාර්ථනාව ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, ඔටුණු පළන් ක්ෂත්‍රීය රජුගේ අංග පසකින් සමන්විත වූ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා යුවරජ තනතුර ප්‍රාර්ථනා කරයි. ඒ කවර පස් අංගයකින් ද යත්;

මහණෙනි, මෙහිලා ඔටුනු පළන් ක්ෂත්‍රීය රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා මව් පාර්ශවයෙනුත්, පිය පාර්ශවයෙනුත් යන උභය පාර්ශවයෙන් ම සුජාත උපතක් ලැබුවේ වෙයි. පිරිසිදු මව් කුසකින් උපන්නේ වෙයි. සත්වෙනි මී මුතු පරම්පරාව තෙක් ජාතිවාදයෙන් බැහැර නොකරන ලද්දේ උපක්‍රෝශ නොකරන ලද්දේ වෙයි.

අභිරූපවත් වූයේ වෙයි. සොඳුරු දැකුම් ඇත්තේ වෙයි. ප්‍රසාදය ඇති කරන්නේ වෙයි. උතුම් පැහැපත් බවින් යුක්ත වූයේ වෙයි.

මව්පියන් හට ප්‍රියමනාප වූයේ වෙයි.

බල සේනාවන්ට ප්‍රියමනාප වූයේ වෙයි.

අතීත, අනාගත, වර්තමාන අභිවෘද්ධිදායක කරුණු සිතන්නට ප්‍රතිබල සම්පන්න වූ නුවණැති ව්‍යක්ත පණ්ඩිතයෙක් වෙයි.

ඔහුට මෙසේ සිතෙයි. ‘මම් වනාහී මව් පාර්ශවයෙනුත්, පිය පාර්ශවයෙනුත් යන උභය පාර්ශවයෙන් ම සුජාත උපතක් ලැබුවේ වෙමි. පිරිසිදු මව් කුසකින් උපන්නේ වෙමි. සත්වෙනි මී මුතු පරම්පරාව තෙක් ජාතිවාදයෙන් බැහැර නොකරන ලද්දේ උපක්‍රෝශ නොකරන ලද්දේ වෙමි. කුමක් නිසා මම් යුවරජ තනතුර නොපතන්නෙම් ද?

මම් වනාහී අභිරූපවත් වූයේ වෙමි. සොඳුරු දැකුම් ඇත්තේ වෙමි. ප්‍රසාදය ඇති කරන්නේ වෙමි. උතුම් පැහැපත් බවින් යුක්ත වූයේ වෙමි. කුමක් නිසා මම් යුවරජ තනතුර නොපතන්නෙම් ද?

මම් වනාහී මව්පියන් හට ප්‍රියමනාප වූයේ වෙමි. කුමක් නිසා මම් යුවරජ තනතුර නොපතන්නෙම් ද?

මම් වනාහී බල සේනාවන් හට ප්‍රියමනාප වූයේ වෙමි. කුමක් නිසා මම් යුවරජ තනතුර නොපතන්නෙම් ද?

මම් වනාහී අතීත, අනාගත, වර්තමාන අභිවෘද්ධිදායක කරුණු සිතන්නට ප්‍රතිබල සම්පන්න වූ නුවණැති ව්‍යක්ත පණ්ඩිතයෙක් වෙමි. කුමක් නිසා මම් යුවරජ තනතුර නොපතන්නෙම් ද?’ යි.

මහණෙනි, ඔටුණු පළන් ක්ෂත්‍රිය රජුගේ මේ අංග පසින් සමන්විත වූ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා යුවරජ තනතුර ප්‍රාර්ථනා කරයි.

එසෙයින් ම මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව ආශ්‍රවයන්ගේ ක්ෂය ය වූ අරහත්වය ප්‍රාර්ථනා කරයි. ඒ කවර පස් කරුණකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වූයේ වෙයි. ….(පෙ)…. ශික්ෂාපද සමාදන් ව හික්මෙයි.

බහුශ්‍රැත වූයේ වෙයි. ….(පෙ)…. නුවණින් දක්නා ලද්දේ වෙයි.

සතර සතිපට්ඨානයන් තුළ මැනැවින් සිත පිහිටුවාගත්තේ වෙයි.

අරඹන ලද වීරිය ඇත්තේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙයි.

ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.

ඔහුට මෙසේ සිතෙයි. ‘මම් වනාහී සිල්වත් වෙමි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙමි. යහපත් ඇවතුම් පැවතුම් ඇති ව වසන්නේ වෙමි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙමි. කුමක් හෙයින් මම් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම නම් වූ අරහත්වය නොපතන්නෙම් ද?

මම් වනාහී ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙමි. ඒ ඇසූ දහම් ධරන්නේ වෙමි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙමි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ මා විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය. කුමක් හෙයින් මම් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම නම් වූ අරහත්වය නොපතන්නෙම් ද?

මම් වනාහී සතර සතිපට්ඨානයන් තුළ මැනැවින් සිත පිහිටුවාගත්තේ වෙමි. කුමක් හෙයින් මම් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම නම් වූ අරහත්වය නොපතන්නෙම් ද?

මම් වනාහී අරඹන ලද වීරිය ඇත්තේ වෙමි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙමි. කුමක් හෙයින් මම් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම නම් වූ අරහත්වය නොපතන්නෙම් ද?

මම් වනාහී ප්‍රඥාවන්ත වෙමි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙමි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙමි. කුමක් හෙයින් මම් ආශ්‍රවයන්ගේ ක්ෂය වීම නම් වූ අරහත්වය නොපතන්නෙම් දැ’ යි.

මහණෙනි, මේ පංච ධර්මයෙන් සමන්විත වූ භික්ෂුව ආශ්‍රවයන්ගේ ක්ෂය වීම නම් වූ අරහත්වය ප්‍රාර්ථනා කරයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය පත්ථනා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M