අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.4.1. පඨම චක්කානුවත්තන සුත්තං

5.3.4.1. ආඥා චක්‍රය පැවැත්වීම ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සක්විති රජ තෙමේ ධර්මයෙන් ම අණසක පවත්වයි. කිසිදු මනුෂ්‍ය වූ සතුරු ප්‍රාණියෙකු විසින් ඒ ආඥා චක්‍රය ආපස්සට හැරවිය නොහැක්කේ ය. ඒ කවර පසකින් ද යත්;

මහණෙනි, මෙහිලා සක්විති රජ තෙමේ කරුණු කාරණාවන්හි අරුත් දන්නේ වෙයි. රාජ ප්‍රවේණි ධර්මය දන්නේ වෙයි. රාජ කෘත්‍යයෙහි පමණ දන්නේ වෙයි. කාලය දන්නේ වෙයි. පිරිස් පරිහරණය දන්නේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ සක්විති රජ තෙමේ ධර්මයෙන් ම අණසක පවත්වයි. කිසිදු මනුෂ්‍ය වූ සතුරු ප්‍රාණියෙකු විසින් ඒ ආඥා චක්‍රය ආපස්සට හැරවිය නොහැක්කේ ය.

එසෙයින් ම මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් ම අනුත්තර වූ ධර්මචක්‍රය පවත්වති. ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසින් හෝ ඒ අනුත්තර ධර්ම චක්‍රය ආපස්සට හැරවිය නොහැක්කේ ය. ඒ කවර පසකින් ද යත්;

මහණෙනි, මෙහිලා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අර්ථය දන්නාහු ය. ධර්මය දන්නාහු ය. පමණ දන්නාහු ය. කාලය දන්නාහු ය. පිරිස දන්නාහු ය.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් ම අනුත්තර වූ ධර්මචක්‍රය පවත්වති. ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසින් හෝ ඒ අනුත්තර ධර්ම චක්‍රය ආපස්සට හැරවිය නොහැක්කේ ය.

සාදු! සාදු!! සාදු!!!

පඨම චක්කානුවත්තන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M