අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.3.10. සම්පදා සුත්තං

5.3.3.10. සම්පත්ති ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ ව්‍යසනයෝ පසකි. ඒ කවර පසක් ද යත්;

ඥාති ව්‍යසනය, භෝග ව්‍යසනය, රෝග ව්‍යසනය, සීල ව්‍යසනය, දෘෂ්ටි ව්‍යසනය ය.

මහණෙනි, සත්වයෝ ඥාති ව්‍යසන හේතුවෙන් හෝ භෝග ව්‍යසන හේතුවෙන් හෝ රෝග ව්‍යසන හේතුවෙන් හෝ කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත නම් වූ නිරයෙහි නූපදින්නාහු ය.

මහණෙනි, සීල ව්‍යසනයෙන් හෝ දෘෂ්ටි ව්‍යසනයෙන් හෝ සත්වයෝ කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත නම් වූ නිරයෙහි උපදින්නාහු ය.

මහණෙනි, මේ වනාහී ව්‍යසනයෝ පස යි.

මහණෙනි, මේ සම්පත්තීහු පසකි. ඒ කවර පසක් ද යත්;

ඥාති සම්පත්තිය, භෝග සම්පත්තිය, නීරෝග සම්පත්තිය, සීල සම්පත්තිය, දෘෂ්ටි සම්පත්තිය ය.

මහණෙනි, සත්වයෝ ඥාති සම්පත්තිය හේතුවෙන් හෝ භෝග සම්පත්තිය හේතුවෙන් හෝ නීරෝග සම්පත්තිය හේතුවෙන් හෝ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගයෙහි නූපදින්නාහු ය.

මහණෙනි, සීල සම්පත්තියෙන් හෝ දෘෂ්ටි සම්පත්තියෙන් හෝ සත්වයෝ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගයෙහි උපදින්නාහු ය.

මහණෙනි, මේ වනාහී සම්පත්තීහු පස යි.

සාදු! සාදු!! සාදු!!!

සම්පදා සූත්‍රය නිමා විය.

තුන්වෙනි ගිලාන වර්ගය අවසන් විය.

එහි පිළිවෙළ උද්දානය යි :

ගිලාන සූත්‍රය, සතිසූපට්ඨිත සූත්‍රය, උපට්ඨාක සූත්‍ර දෙක, අනායුස්ස සූත්‍ර දෙක, වපකාස සූත්‍රය, සමණ දුක්ඛ-සුඛ සූත්‍රය, පරිකුප්ප සූත්‍රය සහ සම්පදා සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M