අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.3.1. ගිලාන සුත්තං

5.3.3.1. ගිලන් භික්ෂුව ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගී සිටි සේක් ගිලන්හල වෙත වැඩි සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් දුර්වල ව ගිලන් ව සිටිනු දුටු සේක. දැක පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, පස් වැදෑරුම් ධර්මයක් යම්කිසි ගිලන් භික්ෂුවක් විසින් අත්නොහැර සිටියි නම්, ඔහු විසින් මෙය කැමති විය යුත්තේ ය. එනම් සුළු කලකදී ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්ති ත් සිය විශිෂ්ට වූ නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වසන්නේ ය යන කරුණ යි. ඒ කවර ධර්මයන් පසක් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව (1). කය පිළිබඳ ව අසුභ වශයෙන් නුවණින් දකිමින් වාසය කරයි. (2). ආහාරයෙහි පිළිකුල් සංඥාව ඇත්තේ වෙයි. (3). සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව ඇත්තේ වෙයි. (4). සියළු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය වශයෙන් නුවණින් දකින්නේ වෙයි. (5). ඔහු තුළ මරණ සංඥාව මැනැවින් පිහිටියේ වෙයි.

මහණෙනි, මේ පස් වැදෑරුම් ධර්මය යම්කිසි ගිලන් භික්ෂුවක් විසින් අත්නොහැර සිටියි නම්, ඔහු විසින් මෙය කැමති විය යුත්තේ ය. එනම් සුළු කලකදී ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්ති ත් සිය විශිෂ්ට වූ නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වසන්නේ ය යන කරුණ යි.

සාදු! සාදු!! සාදු!!!

ගිලාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M