අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.2.10. මිච්ඡා වායාම සුත්තං

5.3.2.10. මිථ්‍යා වීර්යය ඇති භික්ෂුණිය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ භික්ෂුණිය ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නී ය. ඒ කවර පස් කරුණකින් ද යත්;

(1). නොදැන නොවිමසා ගුණ නොකිව යුත්තාගේ ගුණ කියන්නී වෙයි. (2). නොදැන නොවිමසා ගුණ කිව යුත්තාගේ නුගුණ කියන්නී වෙයි. (3). වැරදි වීර්යය ඇත්තී වෙයි. (4). වැරදි සිහිය ඇත්තී වෙයි. (5). ශ්‍රද්ධාවෙන් පූජා කළ දෙය නාස්ති කරන්නී වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ භික්ෂුණිය ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නී ය.

මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ භික්ෂුණිය ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නී ය. ඒ කවර පස් කරුණකින් ද යත්;

(1). දැන විමසා නුගුණ කිව යුත්තාගේ නුගුණ කියන්නී වෙයි. (2). දැන විමසා ගුණ කිව යුත්තාගේ ගුණ කියන්නී වෙයි. (3). නිවැරදි වීර්යය ඇත්තී වෙයි. (4). නිවැරදි සිහිය ඇත්තී වෙයි. (5). ශ්‍රද්ධාවෙන් පූජා කළ දෙය නාස්ති නොකරන්නී වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ භික්ෂුණිය ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නී ය.

සාදු! සාදු!! සාදු!!!

මිච්ඡාවායාම සූත්‍රය නිමා විය.

දෙවෙනි අන්ධකවින්ද වර්ගය අවසන් විය.

එහි පිළිවෙළ උද්දානය යි :

කුලූපග සූත්‍රය, පච්ඡාසමණ සූත්‍රය, සම්මා සමාධි සූත්‍රය, අන්ධකවින්ද සූත්‍රය, මච්ඡරී සූත්‍රය, වණ්ණ සූත්‍රය, ඉස්සුකී සූත්‍රය, මිච්ඡා දිට්ඨික සූත්‍රය, මිච්ඡා වාචා සූත්‍රය සහ මිච්ඡා වායාම සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M