අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.3.1.3. මහා චෝර සූත්‍රය

5.3.1.3. මහා සොරා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය ……

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ මහා සොරා ගෙවල් ද බිඳියි. පැහැරගැනීම් ද කරයි. එක් ගෙයක් වටකොට ද පැහැර ගනියි. මංපැහැරීම් ද කරයි. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, මෙහිලා මහා චෞරයා විෂම තැන් ඇසුරු කරන්නේ වෙයි. ආවරණ තැන් ඇසුරු කරන්නේ වෙයි. බලවත් තැන් ඇසුරු කරන්නේ වෙයි. භෝග සම්පත් දෙන්නේ වෙයි. හුදෙකලාව හැසිරෙන්නේ වෙයි.

මහණෙනි, මහා චෞරයා විෂම තැන් ඇසුරු කරන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා මහා චෞර තෙමේ නදී දුර්ගයන් ඇසුරු කරන්නේ වෙයි. ළං නොවිය හැකි පර්වතයන් ඇසුරු කරන්නේ වෙයි. මහණෙනි, මෙසේ මහා චෞරයා විෂම තැන් ඇසුරු කරන්නේ වෙයි.

මහණෙනි, මහා චෞරයා ආවරණ තැන් ඇසුරු කරන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා මහා චෞර තෙමේ උස් ව වැඩුණු තෘණ ගහණයෙන් යුක්ත තැන් ඇත්තේ ද, එක් ව වැඩුණු ගස් කොළන් ගහණ ව ඇති තැන් ඇත්තේ වෙයි ද, ඝන වනලැහැබ් ඇත්තේ වෙයි ද, එබඳු තැන් ඇසුරු කරන්නේ වෙයි. මහණෙනි, මෙසේ මහා චෞරයා ආවරණ තැන් ඇසුරු කරන්නේ වෙයි.

මහණෙනි, මහා චෞරයා බලවත් තැන් ඇසුරු කරන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා මහා චෞර තෙමේ රජුන් හෝ රාජමහාමාත්‍යයන් හෝ ඇසුරු කරන්නේ වෙයි. ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් මා ගැන කිසිවෙක් හෝ කිසිදෙයක් කියයි නම් මේ රජු හෝ රාජමහාමාත්‍යයෝ හෝ ඒ කරුණ යටපත් කොට මා ගැන හොඳ පවසන්නාහු ය. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කියයි නම් රජු හෝ රාජමහාමාත්‍යයෝ හෝ ඔහුගේ අපරාධය යටපත් කොට හොඳ කියති. මහණෙනි, මෙසේ මහා චෞරයා බලවත් තැන් ඇසුරු කරන්නේ වෙයි.

මහණෙනි, මහා චෞරයා භෝග සම්පත් දෙන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා මහා චෞර තෙමේ ආඪ්‍ය වූයේ, මහත් ධනයකින් යුතු වූයේ, මහත් භෝග සම්පත් ඇත්තේ වෙයි. ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් යමෙක් මා ගැන කිසිවක් කියයි නම් මම ඔහුට තෑගි භෝග දීමෙන් සතුටු කරන්නෙමි’ යි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කියයි නම් ඔහු තෑගි භෝගයන්ගෙන් සළකයි. මහණෙනි, මෙසේ මහා චෞරයා භෝග සම්පත් දෙන්නේ වෙයි.

මහණෙනි, මහා චෞරයා හුදෙකලාව හැසිරෙන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා මහා චෞර තෙමේ හුදෙකලා වූයේ ම අනුන් සතු දේ පැහැර ගන්නේ වෙයි. මක් නිසාද යත්, මාගේ රහස් සාකච්ඡාවෝ බැහැරට නොයත්වා යි කියා ය. මහණෙනි, මෙසේ මහා චෞරයා හුදෙකලාව හැසිරෙන්නේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ මහා සොරා ගෙවල් ද බිඳියි. පැහැරගැනීම් ද කරයි. එක් ගෙයක් වටකොට ද පැහැර ගනියි. මංපැහැරීම් ද කරයි.

එසෙයින් ම මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ පවිටු භික්ෂුව සාරා දැමූ ගුණ ඇති, නසා ගත් ජීවිතයක් පරිහරණය කරයි. වරදින් යුක්ත වූයේ නුවණැත්තන්ගේ දෝෂයට ද ලක්වෙයි. බොහෝ පව් ද රැස් කරයි. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, මෙහිලා පවිටු භික්ෂුව විෂම තැන් ඇසුරු කරන්නේ වෙයි. ආවරණ තැන් ඇසුරු කරන්නේ වෙයි. බලවත් තැන් ඇසුරු කරන්නේ වෙයි. භෝග සම්පත් දෙන්නේ වෙයි. හුදෙකලාව හැසිරෙන්නේ වෙයි.

මහණෙනි, පවිටු භික්ෂුව විෂම තැන් ඇසුරු කරන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා පවිටු භික්ෂුව විෂම වූ කායික ක්‍රියාවන්ගෙන් යුක්ත වූයේ වෙයි. විෂම වූ වාචසික ක්‍රියාවන්ගෙන් යුක්ත වූයේ වෙයි. විෂම වූ මානසික ක්‍රියාවන්ගෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙසේ පවිටු භික්ෂුව විෂම තැන් ඇසුරු කරන්නේ වෙයි.

මහණෙනි, පවිටු භික්ෂුව ආවරණ තැන් ඇසුරු කරන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා පවිටු භික්ෂුව මිථ්‍යා දෘෂ්ටික වූයේ වෙයි. අන්තයට ගිය මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙසේ පවිටු භික්ෂුව ආවරණ තැන් ඇසුරු කරන්නේ වෙයි.

මහණෙනි, පවිටු භික්ෂුව බලවත් තැන් ඇසුරු කරන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා පවිටු භික්ෂුව රජුන් හෝ රාජමහාමාත්‍යයන් හෝ ඇසුරු කරන්නේ වෙයි. ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් මා ගැන කිසිවෙක් හෝ කිසිදෙයක් කියයි නම් මේ රජු හෝ රාජමහාමාත්‍ය හෝ ඒ කරුණ යටපත් කොට මා ගැන හොඳ පවසන්නාහු ය. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කියයි නම් රජු හෝ රාජමහාමාත්‍යයෝ හෝ ඔහුගේ අපරාධය යටපත් කොට හොඳ කියති. මහණෙනි, මෙසේ පවිටු භික්ෂුව බලවත් තැන් ඇසුරු කරන්නේ වෙයි.

මහණෙනි, පවිටු භික්ෂුව භෝග සම්පත් දෙන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා පවිටු භික්ෂුව චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ආදිය ලබන සුළු වූයේ වෙයි. ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් යමෙක් මා ගැන කිසිවක් කියයි නම් මම ඔහුට තෑගි භෝග දීමෙන් සතුටු කරන්නෙමි’ යි. ඉදින් ඔහුට කිසිවෙක් කිසිවක් කියයි නම් ඔහු තෑගි භෝගයන්ගෙන් සළකයි. මහණෙනි, මෙසේ පවිටු භික්ෂුව භෝග සම්පත් දෙන්නේ වෙයි.

මහණෙනි, පවිටු භික්ෂුව හුදෙකලාව හැසිරෙන්නේ කෙසේ ද? මහණෙනි, මෙහිලා පවිටු භික්ෂුව ඈත ජනපදයන්හි තනි ව වාසය කරන්නේ වෙයි. හේ එහිදී දායක පවුල් වෙත පැමිණ ලාභ සත්කාර ලබයි. මහණෙනි, මෙසේ පවිටු භික්ෂුව හුදෙකලාව හැසිරෙන්නේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ පවිටු භික්ෂුව සාරා දැමූ ගුණ ඇති, නසා ගත් ජීවිතයක් පරිහරණය කරයි. වරදින් යුක්ත වූයේ නුවණැත්තන්ගේ දෝෂයට ද ලක්වෙයි. බොහෝ පව් ද රැස් කරයි.

සාදු! සාදු!! සාදු!!!

මහා චෝර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-3-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M