සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව ආනාපානසති භාවනාව වඩන්නේ සුළු කලකින් ම අකෝප්‍ය වූ අරහත්වය අවබෝධ කරන්නේ ය. ඒ කවර කරුණු පසකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව අල්ප දෙයින් යුක්ත වූයේ වෙයි. අල්ප කටයුතු ඇත්තේ වෙයි. පහසුවෙන් පෝෂණය කළ හැක්කේ වෙයි. ජීවත් වීමට ලැබෙන දේ කෙරෙහි හොඳින් සංතෝෂ වන්නේ වෙයි.
අල්පාහාර ඇත්තේ වෙයි. කුස පිරී යන තෙක් ම ආහාර නොගන්නේ වෙයි.
අල්ප නින්ද ඇත්තේ වෙයි. නිදි වැරීමෙහි යුක්ත වූයේ වෙයි.
ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් ධරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය.
සිත විමුක්තියට පත් වූයේ යම් අයුරින් ද එය ප්‍රත්‍යවේක්ෂා කරයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව ආනාපානසති භාවනාව වඩන්නේ සුළු කලකින් ම අකෝප්‍ය වූ අරහත්වය අවබෝධ කරන්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය අකුප්ප සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-5-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M