සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පස් කරුණ ධර්මයෙහි හික්මෙන භික්ෂුවගේ පරිහානිය පිණිස පවතින්නේ ය. ඒ කවර කරුණු පසක් ද යත්;
මහණෙනි, මෙහිලා ධර්මයෙහි හික්මෙන භික්ෂුව බොහෝ බාහිර කටයුතු ඇත්තේ වෙයි. කළ යුතු බොහෝ දෑ ඇත්තේ වෙයි. කළ යුතු දෑ පිළිබඳ ව මෙසේ මෙසේ කළ යුතු යැයි ව්‍යක්ත වූයේ වෙයි. භාවනාව අත්හරියි. තමා තුළ චිත්ත සමාධිය ඇති කරගැනීම පිණිස නොයෙදෙයි. මහණෙනි, දහමේ හික්මෙන භික්ෂුවගේ පරිහානිය පිණිස පවතින පළමුවෙනි කරුණ මෙය යි.
තව ද මහණෙනි, ධර්මයෙහි හික්මෙන භික්ෂුව අල්පමාත්‍ර වූ කටයුත්තකින් දවස ම ගෙවා දමයි. භාවනාව අත්හරියි. තමා තුළ චිත්ත සමාධිය ඇති කරගැනීම පිණිස නොයෙදෙයි. මහණෙනි, දහමේ හික්මෙන භික්ෂුවගේ පරිහානිය පිණිස පවතින දෙවෙනි කරුණ මෙය යි.
තව ද මහණෙනි, ධර්මයෙහි හික්මෙන භික්ෂුව ගිහි පැවිද්දන් හා සමීප ව වාසය කරයි. තමන්ට නොගැලපෙන ගිහියන් හා සමීප ඇසුරක් පවත්වයි. භාවනාව අත්හරියි. තමා තුළ චිත්ත සමාධිය ඇති කරගැනීම පිණිස නොයෙදෙයි. මහණෙනි, දහමේ හික්මෙන භික්ෂුවගේ පරිහානිය පිණිස පවතින තුන්වෙනි කරුණ මෙය යි.
තව ද මහණෙනි, ධර්මයෙහි හික්මෙන භික්ෂුව වේලාසනින් ගමට පිවිසෙයි. දවල් බොහෝ ගෙවා ආපසු එයි. භාවනාව අත්හරියි. තමා තුළ චිත්ත සමාධිය ඇති කරගැනීම පිණිස නොයෙදෙයි. මහණෙනි, දහමේ හික්මෙන භික්ෂුවගේ පරිහානිය පිණිස පවතින සිව්වෙනි කරුණ මෙය යි.
තව ද මහණෙනි, ධර්මයෙහි හික්මෙන භික්ෂුව කෙලෙස් ගැලවී යන, දහම් මගට රුකුල් දෙන යම් ඒ කථාවන් ඇද්ද, එනම්, තම ගුණ ප්‍රකට නොකිරීම ගැන කථාව, ලද දෙයින් සතුටු වීම ගැන කථාව, හුදෙකලා විවේකය ගැන කථාව, ගිහි පැවිද්දන් හා දැඩි ව සමීප නොවීම ගැන කථාව, පටන් ගත් වීරිය ගැන කථාව, සීලය ගැන කථාව, සමාධිය ගැන කථාව, ප්‍රඥාව ගැන කථාව, විමුක්තිය ගැන කථාව, විමුක්ති ඥාන දර්ශනය ගැන කථාව ය. මෙබඳු වූ කථාවන් කැමති සේ නොලබන්නේ වෙයි. සුව සේ, බොහෝ සෙයින් නොලබන්නේ වෙයි. භාවනාව අත්හරියි. තමා තුළ චිත්ත සමාධිය ඇති කරගැනීම පිණිස නොයෙදෙයි. මහණෙනි, දහමේ හික්මෙන භික්ෂුවගේ පරිහානිය පිණිස පවතින පස්වෙනි කරුණ මෙය යි.
මහණෙනි, මේ පස් කරුණ ධර්මයෙහි හික්මෙන භික්ෂුවගේ පරිහානිය පිණිස පවතින්නේ ය.
මහණෙනි, මේ පස් කරුණ ධර්මයෙහි හික්මෙන භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතින්නේ ය. ඒ කවර කරුණු පසක් ද යත්;
මහණෙනි, මෙහිලා ධර්මයෙහි හික්මෙන භික්ෂුව බොහෝ බාහිර කටයුතු නැත්තේ වෙයි. කළ යුතු බොහෝ දෑ නැත්තේ වෙයි. කළ යුතු දෑ පිළිබඳ ව මෙසේ මෙසේ කළ යුතු යැයි නැණවත් වූයේ වෙයි. භාවනාව අත් නොහරියි. තමා තුළ චිත්ත සමාධිය ඇති කරගැනීම පිණිස යෙදෙයි. මහණෙනි, දහමේ හික්මෙන භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතින පළමුවෙනි කරුණ මෙය යි.
තව ද මහණෙනි, ධර්මයෙහි හික්මෙන භික්ෂුව අල්පමාත්‍ර වූ කටයුත්තකින් දවස ම ගෙවා නොදමයි. භාවනාව අත් නොහරියි. තමා තුළ චිත්ත සමාධිය ඇති කරගැනීම පිණිස යෙදෙයි. මහණෙනි, දහමේ හික්මෙන භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතින දෙවෙනි කරුණ මෙය යි.
තව ද මහණෙනි, ධර්මයෙහි හික්මෙන භික්ෂුව ගිහි පැවිද්දන් හා සමීප ව වාසය නොකරයි. තමන්ට නොගැලපෙන ගිහියන් හා සමීප ඇසුරක් නොපවත්වයි. භාවනාව අත් නොහරියි. තමා තුළ චිත්ත සමාධිය ඇති කරගැනීම පිණිස යෙදෙයි. මහණෙනි, දහමේ හික්මෙන භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතින තෙවෙනි කරුණ මෙය යි.
තව ද මහණෙනි, ධර්මයෙහි හික්මෙන භික්ෂුව වේලාසනින් ගමට නොපිවිසෙයි. දවල් බොහෝ ගෙවා ආපසු නොඑයි. භාවනාව අත් නොහරියි. තමා තුළ චිත්ත සමාධිය ඇති කරගැනීම පිණිස යෙදෙයි. මහණෙනි, දහමේ හික්මෙන භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතින සිව්වෙනි කරුණ මෙය යි.
තව ද මහණෙනි, ධර්මයෙහි හික්මෙන භික්ෂුව කෙලෙස් ගැලවී යන, දහම් මගට රුකුල් දෙන යම් ඒ කථාවන් ඇද්ද, එනම්, තම ගුණ ප්‍රකට නොකිරීම ගැන කථාව, ලද දෙයින් සතුටු වීම ගැන කථාව, හුදෙකලා විවේකය ගැන කථාව, ගිහි පැවිද්දන් හා දැඩි ව සමීප නොවීම ගැන කථාව, පටන් ගත් වීරිය ගැන කථාව, සීලය ගැන කථාව, සමාධිය ගැන කථාව, ප්‍රඥාව ගැන කථාව, විමුක්තිය ගැන කථාව, විමුක්ති ඥාන දර්ශනය ගැන කථාව ය. මෙබඳු වූ කථාවන් කැමති සේ ලබන්නේ වෙයි. සුව සේ, බොහෝ සෙයින් ලබන්නේ වෙයි. භාවනාව අත් නොහරියි. තමා තුළ චිත්ත සමාධිය ඇති කරගැනීම පිණිස යෙදෙයි. මහණෙනි, දහමේ හික්මෙන භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතින පස්වෙනි කරුණ මෙය යි.
මහණෙනි, මේ පස් කරුණ ධර්මයෙහි හික්මෙන භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සේඛ සූත්‍රය නිමා විය.
සිව්වෙනි ථේර වර්ගය අවසන් විය.
එහි පිළිවෙළ උද්දානය යි :
රජනීය සූත්‍රය, වීතරාග සූත්‍රය, කුහක සූත්‍රය, අස්සද්ධ සූත්‍රය, අක්ඛම සූත්‍රය, පටිසම්භිදා සූත්‍රය, සීල සූත්‍රය, ථේර සූත්‍රය, සහ සේඛ සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දශයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M