අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.4.1. රජනීය සුත්තං

5.2.4.1. රාගයට කරුණු වූ දේ ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අප්‍රිය ද වෙයි. අමනාප ද වෙයි. නිගරු ද වෙයි. අගෞරව ද වෙයි. ඒ කවර පසක් ද යත්;

රාගයට කරුණු වූ දේ කෙරෙහි ඇලී යයි. ද්වේෂයට කරුණු වූ දේ කෙරෙහි ද්වේෂ වෙයි. මෝහයට කරුණු වූ දේ කෙරෙහි මුලා වෙයි. කෝපයට කරුණු වූ දේ කෙරෙහි කිපෙයි. මත්වීමට කරුණු වූ දේ කෙරෙහි මත් වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අප්‍රිය ද වෙයි. අමනාප ද වෙයි. නිගරු ද වෙයි. අගෞරව ද වෙයි.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය ද වෙයි. මනාප ද වෙයි. ගරු ද වෙයි. ගෞරව ද වෙයි. ඒ කවර පසක් ද යත්;

රාගයට කරුණු වූ දේ කෙරෙහි නොඇලෙයි. ද්වේෂයට කරුණු වූ දේ කෙරෙහි ද්වේෂ නොකරයි. මෝහයට කරුණු වූ දේ කෙරෙහි මුලා නොවෙයි. කෝපයට කරුණු වූ දේ කෙරෙහි නොකිපෙයි. මත්වීමට කරුණු වූ දේ කෙරෙහි මත් නොවෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ස්ථවිර භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය ද වෙයි. මනාප ද වෙයි. ගරු ද වෙයි. ගෞරව ද වෙයි.

සාදු! සාදු!! සාදු!!!

රජනීය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M