අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.2.3.10. චතුත්ථ අනාගත භය සුත්තං

5.2.3.10. අනාගත භය ගැන වදාළ සිව්වන දෙසුම

සැවැත් නුවර දී ය ……..

මහණෙනි, මේ අනාගත භය පසකි. මෙකල මේවා හටගෙන නැත්තේය. අනාගතයෙහි හටගන්නාහු ය. ඔබ විසින් මෙය දැනගත යුත්තේ ය. දැන ඒවා ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ දැරිය යුත්තේ ය. ඒ කවර පසක් ද යත්;

මහණෙනි, අනාගතයෙහි භික්ෂූහු අලංකාර සිවුරු කෙරෙහි කැමති වන්නාහුය. ඔවුහු අලංකාර සිවුරු පෙරවීමට කැමති වෙමින් පාංශුකූල චීවරය අත්හරින්නාහුය. අරණ්‍යයෙහි, දුර ඈත වන සෙනසුන්හි වාසය කිරීම ද අත්හරින්නාහුය. ගම් නියම්ගම් රාජධානි වෙත පැමිණ වාසය කරන්නාහුය. සිවුරු ලබාගැනීම පිණිස ද, අනේකප්‍රකාරයෙන් ශ්‍රමණ සාරුප්‍ය නොවූ කටයුතුවලට මැදිහත් වෙන්නාහුය. මහණෙනි, මෙය පළමුවෙනි අනාගත භය යි. මෙකල මෙය හටගෙන නැත්තේය. අනාගතයෙහි හටගන්නේය. ඔබ විසින් මෙය දැනගත යුත්තේය. දැන එය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ දැරිය යුත්තේය.

තව ද මහණෙනි, අනාගතයෙහි භික්ෂූහු ප්‍රණීත ආහාරපාන කෙරෙහි කැමති වන්නාහුය. ඔවුහු ප්‍රණීත ආහාරපානයන්ට කැමති වෙමින් පිඬු සිඟා යෑම අත්හරින්නාහුය. අරණ්‍යයෙහි, දුර ඈත වන සෙනසුන්හි වාසය කිරීම ද අත්හරින්නාහුය. ගම් නියම්ගම් රාජධානි වෙත පැමිණ වාසය කරන්නාහුය. ප්‍රණීත ආහාර පාන සොයනු පිණිස ද, අනේකප්‍රකාරයෙන් ශ්‍රමණ සාරුප්‍ය නොවූ කටයුතුවලට මැදිහත් වෙන්නාහුය. මහණෙනි, මෙය දෙවෙනි අනාගත භය යි. මෙකල මෙය හටගෙන නැත්තේය. අනාගතයෙහි හටගන්නේය. ඔබ විසින් මෙය දැනගත යුත්තේ ය. දැන එය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ දැරිය යුත්තේය.

තව ද මහණෙනි, අනාගතයෙහි භික්ෂූහු අලංකාර කුටි සෙනසුන් කෙරෙහි කැමති වන්නාහු ය. ඔවුහු අලංකාර කුටි සෙනසුන් වලට කැමති වෙමින් රුක් සෙවනෙහි වාසය කිරීම අත්හරින්නාහු ය. අරණ්‍යයෙහි, දුර ඈත වන සෙනසුන්හි වාසය කිරීම ද අත්හරින්නාහු ය. ගම් නියම්ගම් රාජධානි වෙත පැමිණ වාසය කරන්නාහු ය. අලංකාර කුටි සෙනසුන් පිණිස ද, අනේකප්‍රකාරයෙන් ශ්‍රමණ සාරුප්‍ය නොවූ කටයුතුවලට මැදිහත් වෙන්නාහු ය. මහණෙනි, මෙය තුන්වෙනි අනාගත භය යි. මෙකල මෙය හටගෙන නැත්තේ ය. අනාගතයෙහි හටගන්නේ ය. ඔබ විසින් මෙය දැනගත යුත්තේ ය. දැන එය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ දැරිය යුත්තේ ය.

තව ද මහණෙනි, අනාගතයෙහි භික්ෂූහු භික්ෂුණීන්, සික්ඛමානාවන්, සාමණේරීන් සමඟ එකට එක් ව වාසය කරන්නාහු ය. මහණෙනි, භික්ෂුණීන්, සික්ඛමානාවන්, සාමණේරීන් සමඟ එකට වාසය කිරීම ඇති කල්හී මෙය කැමති විය යුත්තේ ය. එනම් අකමැත්තෙන් බඹසර හැසිරෙන්නාහු ය. එසේ ත් නැත්නම් වෙනත් කිලිටි වූ ආපත්තියකට පත්වන්නාහු ය. එසේ ත් නැත්නම් ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ගිහි වන්නාහු ය කියා ය. මහණෙනි, මෙය සිව්වෙනි අනාගත භය යි. මෙකල මෙය හටගෙන නැත්තේ ය. අනාගතයෙහි හටගන්නේ ය. ඔබ විසින් මෙය දැනගත යුත්තේ ය. දැන එය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ දැරිය යුත්තේ ය.

තව ද මහණෙනි, අනාගතයෙහි භික්ෂූහු ආරාමිකයන් හා සාමණේරයින් සමඟ එකට එක් ව වාසය කරන්නාහු ය. මහණෙනි, ආරාමිකයන් හා සාමණේරයින් සමඟ එකට වාසය කිරීම ඇති කල්හී මෙය කැමති විය යුත්තේ ය. එනම් නොයෙක් ආකාරයෙන් ආහාරපානාදිය රැස් කොට සන්නිධිකාර පරිභෝජනයෙහි යෙදීම ත්, ගස් කොළන් වගා කිරීම පිණිස පොළොව කැණවීම පිණිස ත්, ගස් වැල් සිඳලීම පිණිස ත් ඕළාරික නිමිති පහළ කරන්නාහු ය. මහණෙනි, මෙය පස්වෙනි අනාගත භය යි. මෙකල මෙය හටගෙන නැත්තේ ය. අනාගතයෙහි හටගන්නේ ය. ඔබ විසින් මෙය දැනගත යුත්තේ ය. දැන එය ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ දැරිය යුත්තේ ය.

මහණෙනි, මේ අනාගත භය පස යි. මෙකල මේවා හටගෙන නැත්තේ ය. අනාගතයෙහි හටගන්නාහු ය. ඔබ විසින් මෙය දැනගත යුත්තේ ය. දැන ඒවා ප්‍රහාණය කිරීම පිණිස උත්සාහ දැරිය යුත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

චතුත්ථ අනාගත භය සූත්‍රය නිමා විය.

තුන්වෙනි අනාගතභය වර්ගය අවසන් විය.

එහි පිළිවෙළ උද්දානය යි :

චේතෝ විමුත්ති සූත්‍ර දෙක, ධම්මවිහාරී සූත්‍ර දෙක, යෝධාජීව සූත්‍ර දෙක සහ අනාගත භය සූත්‍ර සතර වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-2-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M