එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන විසල්පුරවැසි උග්ග ගෘහපතියාගේ නිවස කරා වැඩි සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එකල්හී විසල්පුරවැසි උග්ග ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් විසල්පුරවැසි උග්ග ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මවිසින් මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. එනම් කැමති දේ දෙන තැනැත්තා කැමති දේ ලබන බව යි. ස්වාමීනී, මේ සල්පුප් නම් කැවිලි වර්ගය මා හට ඉතා මනාප ය. මා කෙරෙහි අනුකම්පාව උපදවා භාග්‍යවතුන් වහන්සේ එය පිළිගන්නා සේක්වා!” භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව උපදවා එය පිළිගත් සේක.
“ස්වාමීනී, මවිසින් මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. එනම් කැමති දේ දෙන තැනැත්තා කැමති දේ ලබන බව යි. ස්වාමීනී, ඇඹුලට මසං ගෙඩි යෙදූ ඌරුමස් ව්‍යංජනය මා හට ඉතා මනාප ය. මා කෙරෙහි අනුකම්පාව උපදවා භාග්‍යවතුන් වහන්සේ එය පිළිගන්නා සේක්වා!” භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව උපදවා එය පිළිගත් සේක.
“ස්වාමීනී, මවිසින් මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. එනම් කැමති දේ දෙන තැනැත්තා කැමති දේ ලබන බව යි. ස්වාමීනී, ගිතෙලින් බදින ලද නාලියශාඛ නම් වූ ආහාරය මා හට ඉතා මනාප ය. මා කෙරෙහි අනුකම්පාව උපදවා භාග්‍යවතුන් වහන්සේ එය පිළිගන්නා සේක්වා!” භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව උපදවා එය පිළිගත් සේක.
“ස්වාමීනී, මවිසින් මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. එනම් කැමති දේ දෙන තැනැත්තා කැමති දේ ලබන බව යි. ස්වාමීනී, කළු සහල් ඉවත් කළ නොයෙක් සූපයන්ගෙන් ද, නොයෙක් ව්‍යංජනයන්ගෙන් ද යුක්ත වූ ඇල් සහල් බත මා හට ඉතා මනාප ය. මා කෙරෙහි අනුකම්පාව උපදවා භාග්‍යවතුන් වහන්සේ එය පිළිගන්නා සේක්වා!” භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව උපදවා එය පිළිගත් සේක.
“ස්වාමීනී, මවිසින් මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. එනම් කැමති දේ දෙන තැනැත්තා කැමති දේ ලබන බව යි. ස්වාමීනී, කසී සළු මා හට ඉතා මනාප ය. මා කෙරෙහි අනුකම්පාව උපදවා භාග්‍යවතුන් වහන්සේ ඒවා
පිළිගන්නා සේක්වා!” භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව උපදවා එය පිළිගත් සේක.
“ස්වාමීනී, මවිසින් මෙකරුණ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි පිළිගන්නා ලද්දේ ය. එනම් කැමති දේ දෙන තැනැත්තා කැමති දේ ලබන බව යි. ස්වාමීනී, කළු ලොම් ඇති පලස් අතුරන ලද එළුලෝමයෙන් කළ සුදු ඇතිරිලි අතුරන ලද ගොරෝසුවට කළ එළුලොම් අතුරන ලද කදලි මෘගයන්ගේ සම් අතුරන ලද උඩු වියන් සහිත වූ දෙපස රතු විල්ලුද කොට්ට ඇති පළඟ මා හට ඉතා මනාප ය. එනමුදු ස්වාමීනී, අපි භාග්‍යවතුන් වහන්සේට එය අකැප බව දනිමු. ස්වාමීනි, මාගේ මේ කහවණු දහසකට වැඩි වටිනාකම ඇති සඳුන් ඵලකය මා කෙරෙහි අනුකම්පාව උපදවා භාග්‍යවතුන් වහන්සේ එය පිළිගන්නා සේක්වා!” භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව උපදවා එය පිළිගත් සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසල්පුරවැසි උග්ග ගෘහපතියාට මේ අනුමෝදනාවෙන් අනුමෝදනා කළ සේක.
(ගාථා)
1. තමා කැමති දෙය දෙන තැනැත්තා කැමති දෙය ම ලබයි. යමෙක් නිවන් මගෙහි ඍජු වූවන් උදෙසා ඉතා සතුටින් දන් දෙයි ද, හඳිනා පොරෝනා වස්ත්‍ර සයනාසන ආහාරපානාදිය නොයෙක් කැප සරුප් ප්‍රත්‍යයන් දෙයි ද,
2. රහතන් වහන්සේලා පුණ්යක්ෂේත්රය ලෙස උපමා කොට වදාළ බව දැන නොඇළුණු සිතින් යුතුව දන් පුදන ලද්දේ ද, සිතින් අත්හරින ලද්දේ ද, ඒ සත්පුරුෂ තෙමේ දුෂ්කර වූ පරිත්‍යාගයන් කොට තමා කැමති දේ දී කැමති දේ ම ලබන්නේ ය.
එකල්හී භාග්‍යවතුන් වහන්සේ විසල්පුරවැසි උග්ග ගෘහපති හට මේ අනුමෝදනාවෙන් අනුමෝදන් කොට හුනස්නෙන් නැගිට නික්ම වැඩි සේක. ඉක්බිති විසල්පුරවැසි උග්ග ගෘහපති තෙමේ පසුකලක කළුරිය කළේය. කළුරිය කළ විසල්පුරවැසි උග්ග ගෘහපති තෙමේ එක්තරා සුද්ධාවාස දෙව්ලොවක මනෝමය කයින් උපන්නේ ය.
එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති උග්ග දිව්‍ය පුත්‍ර තෙමේ මධ්‍යම රාත්‍රියෙහි මනස්කාන්ත වර්ණයෙන් මුළුමහත් දෙව්රම බබුළුවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි උග්ග දිව්‍යපුත්‍රයාගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙය ඇසූ සේක.
“කිම? උග්ගයෙනි, ඔබට අදහස් කළ පරිදි ලැබුණේ ද?”
“ස්වාමීනී, ඒකාන්තයෙන් ම මා අදහස් කළ පරිදි ඉහළ මගඵල ලැබුණේ ය.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උග්ග දිව්‍යපුත්‍රයා හට ගාථාවලින් වදාළ සේක.
(ගාථා)
1. කැමති දේ දෙන තැනැත්තා කැමති දේ ලබන්නේ ය. අග්‍ර දේ දෙන තැනැත්තා යළි අග්‍ර වූ දේ ලබන්නේ ය. උතුම් දේ දෙන තැනැත්තා උතුම් දෙයට හිමිකරුවෙක් වන්නේ ය. ශ්‍රේෂ්ඨ වූ දේ දෙන තැනැත්තා ශ්‍රේෂ්ඨ වූ තැනට පත්වන්නේ ය.
2. යමෙක් අග්‍ර දේ දෙන්නේ ද, උතුම් දේ දෙන්නේ ද, ශ්‍රේෂ්ඨ වූ දේ දෙන්නේ ද, ඒ මනුෂ්‍ය තෙමේ යම් යම් තැනක උපදියි නම් දීර්ඝායුෂ ඇත්තේ යස පිරිවර ඇත්තේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
මනාපදායී සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M