අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.5.10. සෝකසල්ලහරණ සුත්තං

5.1.5.10. ශෝක හුල ඉදිරීම ගැන වදාළ දෙසුම

එක් සමයක ආයුෂ්මත් නාරද තෙරණුවෝ පාටලීපුත්‍ර නගරයෙහි කුක්කුටාරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි මුණ්ඩරජහුගේ ප්‍රියමනාප බිසව වූ භද්‍රා දේවිය කළුරිය කළා ය. හේ තමා හට ප්‍රිය මනාප වූ භද්‍රා දේවිය කළුරිය කළ හේතුවෙන් ස්නානය නොකරයි. සුවඳ විලවුන් නොගල්වයි. ආහාර අනුභව නොකරයි. කර්මාන්ත කටයුතුවල නොයොදවයි. රෑ දවල් දෙකෙහි භද්‍රා දේවියගේ මෘත ශරීරය කෙරෙහි බෙහෙවින් මුසපත් වූ සිතින් වසයි. එකල්හී මුණ්ඩ රජ තෙමේ පියක නම් වූ භාණ්ඩාගාරික අමාත්‍යයා ඇමතී ය.

“එසේ වී නම් මිත්‍ර පියක ය, භද්‍රා දේවියගේ ශරීරය ලෝහමය තෙල් දෙණක බහා අන්‍ය වූ ලෝහ පියනකින් වසා දමව්. යම් අයුරකින් අපි භද්‍රා දේවියගේ ශරීරය ඉතා බොහෝ කලක් දකින්නෙමු” යි.

“එසේ ය, දේවයන් වහන්සැ”යි පියක නම් භාණ්ඩාගාරික අමාත්‍ය තෙමේ මුණ්ඩ රජු හට පිළිවදන් දී භද්‍රා දේවියගේ මෘත ශරීරය ලෝහමය තෙල් දෙණක බහා අන්‍ය වූ ලෝහ පියනකින් වැසුවේ ය. ඉක්බිති පියක නම් භාණ්ඩාගාරික අමාත්‍යයාට මේ අදහස ඇතිවිය. ‘මේ මුණ්ඩ රජහුගේ ප්‍රිය මනාප බිසව වන භද්‍රා දේවිය කළුරිය කළා ය. හේ තමා හට ප්‍රිය මනාප වූ භද්‍රා දේවිය කළුරිය කළ හේතුවෙන් ස්නානය නොකරයි. සුවඳ විලවුන් නොගල්වයි. ආහාර අනුභව නොකරයි. කර්මාන්ත කටයුතුවල නොයොදවයි. රෑ දවල් දෙකෙහි භද්‍රා දේවියගේ මෘත ශරීරය කෙරෙහි බෙහෙවින් මුසපත් වූ සිතින් වසයි. මුණ්ඩ රජ තෙමේ යමෙකුගේ ධර්මය අසා ශෝක හුල බැහැර කරයි නම් එබඳු වූ කවර නම් ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ ඇසුරු කරන්නේ දැ’ යි.

ඉක්බිති පියක නම් භාණ්ඩාගාරික අමාත්‍යයාට මේ අදහස ඇතිවිය. ‘මේ ආයුෂ්මත් නාරද තෙරණුවෝ පාටලීපුත්‍රයෙහි කුක්කුටාරාමයෙහි වැඩවෙසෙති. ආයුෂ්මත් නාරදයන් වහන්සේ පිළිබඳ ව මෙබඳු වූ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් උස් ව පැන නැංගේ ය. එනම් මේ ස්ථවිර තෙමේ නුවණැත්තේ ය. ව්‍යක්ත ය. ප්‍රශස්ත බුද්ධි ඇත්තේ ය. බහුශ්‍රැත ය. විචිත්‍ර ධර්ම කථික ය. කල්‍යාණ ප්‍රතිභානයෙන් යුක්ත ය. වයෝවෘද්ධ ය. අරහත් ය යනුවෙනි. යම් හෙයකින් මුණ්ඩ රජ ආයුෂ්මත් නාරදයන් වහන්සේ ඇසුරු කරන්නේ නම් ඒකාන්තයෙන් ම ආයුෂ්මත් නාරදයන්ගේ ධර්මය අසා මුණ්ඩ රජතෙමේ ශෝක හුල බැහැර කරන්නේ ය’ යි.

එකල්හී කෝෂාරක්ෂක පියක අමාත්‍ය තෙමේ මුණ්ඩ රජු කරා පැමිණියේ ය. පැමිණ මුණ්ඩ රජු හට මෙය පැවසුවේ ය.

“දේවයන් වහන්ස, මේ ආයුෂ්මත් නාරද තෙරණුවෝ පාටලීපුත්‍රයෙහි කුක්කුටාරාමයෙහි වැඩවෙසෙති. ආයුෂ්මත් නාරදයන් වහන්සේ පිළිබඳ ව මෙබඳු වූ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් උස් ව පැන නැංගේ ය. එනම් මේ ස්ථවිර තෙමේ නුවණැත්තේ ය. ව්‍යක්ත ය. ප්‍රශස්ත බුද්ධි ඇත්තේ ය. බහුශ්‍රැත ය. විචිත්‍ර ධර්ම කථික ය. කල්‍යාණ ප්‍රතිභානයෙන් යුක්ත ය. වයෝවෘද්ධ ය. අරහත් ය යනුවෙනි. ඉදින් යම් හෙයකින් දේවයන් වහන්සේ ආයුෂ්මත් නාරදයන් වහන්සේ ඇසුරු කරන්නාහු නම් ඒකාන්තයෙන් ම ආයුෂ්මත් නාරදයන්ගේ ධර්මය අසා දේවයන් වහන්සේ ශෝක හුල බැහැර කරන්නාහු ය.”

“එසේ වී නම් මිත්‍ර පියක ය, ආයුෂ්මත් නාරද තෙරුන් හට දැනුම් දෙව. කෙසේ නම් මා වැනි කෙනෙක් මාගේ විජිතයේ වසන ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ කලින් දැනුම් නොදී එළඹිය යුතු යැයි හඟින්නේ ද?”

“එසේ ය දේවයන් වහන්සැ”යි කෝෂාරක්ෂක පියක අමාත්‍ය තෙමේ මුණ්ඩ රජු හට පිළිවදන් දී ආයුෂ්මත් නාරදයන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් නාරදයන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් කෝෂාරක්ෂක පියක තෙමේ ආයුෂ්මත් නාරදයන් හට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, මේ මුණ්ඩ රජහුගේ ප්‍රිය මනාප බිසව වන භද්‍රා දේවිය කළුරිය කළා ය. හේ තමා හට ප්‍රිය මනාප වූ භද්‍රා දේවිය කළුරිය කළ හේතුවෙන් ස්නානය නොකරයි. සුවඳ විලවුන් නොගල්වයි. ආහාර අනුභව නොකරයි. කර්මාන්ත කටයුතුවල නොයොදවයි. රෑ දවල් දෙකෙහි භද්‍රා දේවියගේ මෘත ශරීරය කෙරෙහි බෙහෙවින් මුසපත් වූ සිතින් වසයි. ස්වාමීනී, ආයුෂ්මත් නාරදයන් වහන්සේ යම් අයුරකින් මුණ්ඩ රජු ආයුෂ්මත් නාරදයන් වහන්සේගේ ධර්මය අසා ශෝක හුල බැහැර කරයි ද, ඒ අයුරින් මුණ්ඩ රජු හට ධර්ම දේශනා කරන සේක්වා!”

“පියක ය, දැන් මුණ්ඩ රජු හට යමකට කාලය නම් එය දැනගන්නේ ය.”

එකල්හී කෝෂාරක්ෂක පියක අමාත්‍යයා හුනස්නෙන් නැගිට ආයුෂ්මත් නාරද තෙරුන්ට සකසා වන්දනා කොට පැදකුණු කොට මුණ්ඩ රජු කරා එළඹියේ ය. එළඹ මුණ්ඩ රජු හට මෙය සැළ කළේ ය.

“දේවයන් වහන්ස, ආයුෂ්මත් නාරදයන් වහන්සේ විසින් දැන් දේව තෙමේ යමකට කාලය නම් එය දැනගන්නේ ය යැයි අවකාශ සළසන ලද්දේ ය.”

“එසේ වී නම් මිත්‍ර පියක ය, සොඳුරු සොඳුරු යානයන් සූදානම් කරව.”

“එසේ ය, දේවයන් වහන්සැ”යි කෝෂාරක්ෂක පියක අමාත්‍යයා මුණ්ඩ රජුට පිළිවදන් දී සොඳුරු සොඳුරු යානයන් සූදානම් කොට මුණ්ඩ රජුට මෙය සැළ කළේ ය.

“දේවයන් වහන්ස, සොඳුරු සොඳුරු යානයෝ සූදානම් කරන ලද්දාහු ය. දේවයන් වහන්ස, දැන් යමකට කාලය නම් එය දැනගන්නාහු ය.”

එකල්හී මුණ්ඩරජ තෙමේ සොඳුරු යානයක නැගී සොඳුරු යානයන් පිරිවරා මහත් වූ රාජානුභාවයෙන් යුතුව ආයුෂ්මත් නාරද තෙරුන් බැහැදකිනු පිණිස කුක්කුටාරාමය වෙත පිටත් වූයේ ය. යානයෙන් යා හැකි භූමිය යම්තාක් ඇද්ද, ඒ තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පා ගමනින් ආරාමයට පිවිසියේ ය.

ඉක්බිති මුණ්ඩ රජ තෙමේ ආයුෂ්මත් නාරද තෙරුන් වෙත පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් නාරද තෙරුන්ට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් මුණ්ඩ රජු හට ආයුෂ්මත් නාරද තෙරණුවෝ මෙය වදාළහ.

“මහාරාජයෙනි, ලෝකයෙහි ශ්‍රමණයෙකු විසින් වේවා, බ්‍රාහ්මණයෙකු විසින් වේවා, දෙවියෙකු විසින් වේවා, මාරයෙකු විසින් වේවා, බ්‍රහ්මයෙකු විසින් වේවා වෙනත් කිසිවෙකු විසින් හෝ වේවා ලැබිය නොහැකි මේ කරුණු පසකි. ඒ කවර පසක් ද යත්;

(1). ‘ජරාජීර්ණ වන ස්වභාවයට පත්වන දෙය ජරාජීර්ණ බවට පත් නොවේවා’ යි ලෝකයෙහි ශ්‍රමණයෙකු විසින් වේවා, බ්‍රාහ්මණයෙකු විසින් වේවා, දෙවියෙකු විසින් වේවා, මාරයෙකු විසින් වේවා, බ්‍රහ්මයෙකු විසින් වේවා වෙනත් කිසිවෙකු විසින් හෝ වේවා ලැබිය නොහැකි කරුණකි. (2). ‘රෝග වැළඳෙන ස්වභාවයට අයත් දෙය රෝගී බවට පත්නොවේවා’ යි ….(පෙ)…. (3). ‘මැරෙන ස්වභාවයට අයත් දෙය මරණයට පත්නොවේවා’ යි ….(පෙ)…. (4). ‘ගෙවීයන ස්වභාවයට අයත් දෙය ගෙවී නොයාවා’ යි ….(පෙ)…. (5). ‘නැසෙන ස්වභාවයට අයත් දෙය නොනැසේවා’ යි ලෝකයෙහි ශ්‍රමණයෙකු විසින් වේවා, බ්‍රාහ්මණයෙකු විසින් වේවා, දෙවියෙකු විසින් වේවා, මාරයෙකු විසින් වේවා, බ්‍රහ්මයෙකු විසින් වේවා වෙනත් කිසිවෙකු විසින් හෝ වේවා ලැබිය නොහැකි කරුණකි.

මහාරාජයෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා හට ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරාජීර්ණ වන්නේ ය. හෙතෙම ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරාජීර්ණ වන කල්හී මෙලෙස නුවණින් සිහි නොකරයි. ‘ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරාජීර්ණ වී යාම මා හට පමණක් වන දෙයක් නොවෙයි. යම්තාක් සත්වයන්ගේ මෙලොවට පැමිණීම්, පරලොව යාම්, චුතවීම්, ඉපදීම් ඇද්ද, ඒ සියළු සත්වයන් හට ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරාජීර්ණ වෙයි. ජරාජීර්ණ වන දෙය ජරාජීර්ණ වන කල්හී මම ශෝක කරන්නෙම් නම්, වෙහෙසට පත්වන්නෙම් නම්, හඬා වැළපෙන්නෙම් නම්, ළයෙහි අත්ගසා හඬන්නෙම් නම්, මුළාවට පත්වන්නෙම් නම් මට ආහාර ද පිරියක් නොවන්නේ ය. කය ද විරූපී වන්නේ ය. වැඩකටයුතු ද අඩාල වන්නේ ය. සතුරෝ ද සතුටු වන්නෝ ය. මිතුරෝ ද දුක් වන්නෝ ය’ යි. මෙසේ නොසිතන හේ ජරාජීර්ණ බවට පත්වන දෙය ජරාජීර්ණ වන කල්හී ශෝක කරයි. ක්ලාන්ත වෙයි. හඬා වැළපෙයි. ළයෙහි අත්පැහැර හඬයි. මුළාවට පත්වෙයි. මහාරාජයෙනි, මේ අශ්‍රැතවත් පෘථග්ජනයා ශෝකය නමැති විෂ සහිත හුලින් විදිනා ලද්දේ තමන් ව ම පීඩාවට පත් කරගන්නේ යැයි කියනු ලැබේ.

තව ද මහාරාජයෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා හට රෝගී වන ස්වභාවයෙන් යුතු දෙය රෝගී වන්නේ ය. ….(පෙ)…. මැරී යන ස්වභාවයෙන් යුතු දෙය මැරෙන්නේ ය. ….(පෙ)…. ගෙවී යන ස්වභාවයෙන් යුතු දෙය ගෙවෙන්නේ ය. ….(පෙ)…. නැසෙන ස්වභාවයෙන් යුතු දෙය නැසෙන්නේ ය. හෙතෙම නැසෙන ස්වභාවයෙන් යුතු දෙය නැසෙන කල්හී මෙලෙස නුවණින් සිහි නොකරයි. ‘නැසෙන ස්වභාවයෙන් යුතු දෙය නැසී යාම මා හට පමණක් වන දෙයක් නොවෙයි. යම්තාක් සත්වයන්ගේ මෙලොවට පැමිණීම්, පරලොව යාම්, චුතවීම්, ඉපදීම් ඇද්ද, ඒ සියළු සත්වයන් හට නැසෙන ස්වභාවයෙන් යුතු දෙය නැසී යයි. නැසෙන දෙය නැසී යන කල්හී මම ශෝක කරන්නෙම් නම්, වෙහෙසට පත්වන්නෙම් නම්, හඬා වැළපෙන්නෙම් නම්, ළයෙහි අත්ගසා හඬන්නෙම් නම්, මුළාවට පත්වන්නෙම් නම් මට ආහාර ද පිරියක් නොවන්නේ ය. කය ද විරූපී වන්නේ ය. වැඩකටයුතු ද අඩාල වන්නේ ය. සතුරෝ ද සතුටු වන්නෝ ය. මිතුරෝ ද දුක් වන්නෝ ය’ යි. මෙසේ නොසිතන හේ නැසෙන දෙය නැසෙන කල්හී ශෝක කරයි. ක්ලාන්ත වෙයි. හඬා වැළපෙයි. ළයෙහි අත්පැහැර හඬයි. මුළාවට පත්වෙයි. මහාරාජයෙනි, මේ අශ්‍රැතවත්

පෘථග්ජනයා ශෝකය නමැති විෂ සහිත හුලින් විදිනා ලද්දේ තමන් ව ම පීඩාවට පත් කරගන්නේ යැයි කියනු ලැබේ.

මහාරාජයෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරාජීර්ණ වන්නේ ය. හෙතෙම ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරාජීර්ණ වන කල්හී මෙලෙස නුවණින් සිහි කරයි. ‘ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරාජීර්ණ වී යාම මා හට පමණක් වන දෙයක් නොවෙයි. යම්තාක් සත්වයන්ගේ මෙලොවට පැමිණීම්, පරලොව යාම්, චුතවීම්, ඉපදීම් ඇද්ද, ඒ සියළු සත්වයන් හට ජරාජීර්ණ වන ස්වභාවයෙන් යුතු දෙය ජරාජීර්ණ වෙයි. ජරාජීර්ණ වන දෙය ජරාජීර්ණ වන කල්හී මම ශෝක කරන්නෙම් නම්, වෙහෙසට පත්වන්නෙම් නම්, හඬා වැළපෙන්නෙම් නම්, ළයෙහි අත්ගසා හඬන්නෙම් නම්, මුළාවට පත්වන්නෙම් නම් මට ආහාර ද පිරියක් නොවන්නේ ය. කය ද විරූපී වන්නේ ය. වැඩකටයුතු ද අඩාල වන්නේ ය. සතුරෝ ද සතුටු වන්නෝ ය. මිතුරෝ ද දුක් වන්නෝ ය’ යි. මෙසේ සිතන හේ ජරාජීර්ණ බවට පත්වන දෙය ජරාජීර්ණ වන කල්හී ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. හඬා නොවැළපෙයි. ළයෙහි අත්පැහැර නොහඬයි. මුළාවට පත් නොවෙයි. මහාරාජයෙනි, මේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ශෝකය නැමැති විෂ සහිත හුලෙන් අශ්‍රැතවත් පෘථග්ජනයා ව පීඩාවට පත් කරයි නම් ඒ විෂ සහිත ශෝක හුල උදුරා දැමුවේ ය යැයි කියනු ලැබේ. ශෝක රහිත වූයේ හුල බැහැර කරන ලද්දේ ආර්ය ශ්‍රාවක තෙමේ තමාගේ ජීවිතය පිරිනිවීමට පත් කරවයි.

තව ද මහාරාජයෙනි, ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා හට රෝගී වන ස්වභාවයෙන් යුතු දෙය රෝගී වන්නේ ය. ….(පෙ)…. මැරී යන ස්වභාවයෙන් යුතු දෙය මැරෙන්නේ ය. ….(පෙ)…. ගෙවී යන ස්වභාවයෙන් යුතු දෙය ගෙවෙන්නේ ය. ….(පෙ)…. නැසෙන ස්වභාවයෙන් යුතු දෙය නැසෙන්නේ ය. හෙතෙම නැසෙන ස්වභාවයෙන් යුතු දෙය නැසෙන කල්හී මෙලෙස නුවණින් සිහි කරයි. ‘නැසෙන ස්වභාවයෙන් යුතු දෙය නැසී යාම මා හට පමණක් වන දෙයක් නොවෙයි. යම්තාක් සත්වයන්ගේ මෙලොවට පැමිණීම්, පරලොව යාම්, චුතවීම්, ඉපදීම් ඇද්ද, ඒ සියළු සත්වයන් හට නැසෙන ස්වභාවයෙන් යුතු දෙය නැසී යයි. නැසෙන දෙය නැසී යන කල්හී මම ශෝක කරන්නෙම් නම්, වෙහෙසට පත්වන්නෙම් නම්, හඬා වැළපෙන්නෙම් නම්, ළයෙහි අත්ගසා හඬන්නෙම් නම්, මුළාවට පත්වන්නෙම් නම් මට ආහාර ද පිරියක් නොවන්නේ ය. කය ද විරූපී වන්නේ ය. වැඩකටයුතු ද අඩාල වන්නේ ය. සතුරෝ ද සතුටු වන්නෝ ය. මිතුරෝ ද දුක් වන්නෝ ය’ යි. මෙසේ සිතන හේ නැසෙන දෙය නැසෙන කල්හී ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. හඬා නොවැළපෙයි. ළයෙහි අත්පැහැර නොහඬයි. මුළාවට පත් නොවෙයි. මහාරාජයෙනි, මේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ශෝකය නමැති විෂ සහිත හුලෙන් අශ්‍රැතවත්

පෘථග්ජනයා ව පීඩාවට පත් කරයි නම් ඒ විෂ සහිත ශෝක හුල උදුරා දැමුවේ ය යැයි කියනු ලැබේ. ශෝක රහිත වූයේ හුල බැහැර කරන ලද්දේ ආර්ය ශ්‍රාවක තෙමේ තමාගේ ජීවිතය පිරිනිවීමට පත් කරවයි.

මහාරාජයෙනි, ලෝකයෙහි ශ්‍රමණයෙකු විසින් වේවා, බ්‍රාහ්මණයෙකු විසින් වේවා, දෙවියෙකු විසින් වේවා, මාරයෙකු විසින් වේවා, බ්‍රහ්මයෙකු විසින් වේවා වෙනත් කිසිවෙකු විසින් හෝ වේවා ලැබිය නොහැක්කේ මේ කරුණු පසයි.

(ගාථා)

1. ශෝක කිරීමෙන්, හඬා වැළපීමෙන් ස්වල්ප වූ හෝ යහපතක් නොලැබෙන්නේ ය. ශෝක කරන්නා වූ දුක්ඛිත වූ පුද්ගලයා දැක සතුරෝ සංතෝෂයට පත්වෙති.

2. යම් කලක අර්ථ විනිශ්චයෙහි දක්ෂ වූ නුවණැති ආර්ය ශ්‍රාවකයා උපද්‍රවයන් මැද නොවැටී සිටියි. ඔහුගේ සතුරෝ නොවෙනස් වූ පැරණි මුහුණ ම දැක දුකට පත්වෙති.

3. ජප කිරීමෙන් ද, මන්ත්‍රයෙන් ද, සත්පුරුෂ වචනයෙන් ද, පිළිවෙළින් දෙන දානයෙන් ද, පරපුරෙන් පැමිණි ක්‍රියාමාර්ගයෙන් ද යම් යම් අයුරකින් යම් ආපදාවකදී යහපත ලැබෙයි නම් ඒ ඒ අයුරින් එහිලා කටයුතු කිරීමට වීර්යය කරන්නේ ය.

4. ඉදින් මා විසිනුත් අන්‍යයන් විසිනුත් ඒ අර්ථය නොලැබිය හැකි යැයි දන්නේ නම් ශෝක නොකොට ඉවසිය යුත්තේ ය. ‘කර්මය දැඩි වූ දෙයකි. දැන් කුමක් කරම් දැ’යි.”

මෙසේ වදාළ කල්හී මුණ්ඩ රජ තෙමේ ආයුෂ්මත් නාරදයන් වහන්සේ ගෙන් මෙය ඇසුවේ ය.

“ස්වාමීනී, මේ ධර්ම පරියායෙහි නම කුමක් ද?”

“මහාරාජයෙනි, මේ ධර්ම පරියාය ‘සෝක හුල ඉදිරීම’ නම් වෙයි”

“ස්වාමීනී, ඒකාන්තයෙන් ම ‘ශෝක හුල ඉදිරීම’ නම් වෙයි. ස්වාමීනී, ඒකාන්තයෙන් ම ‘ශෝක හුල ඉදිරීම’ නම් වෙයි. ස්වාමීනී, මේ ධර්ම පරියාය අසා මාගේ ශෝක හුල නැතිවී ගියේ ය.”

ඉකිබිති මුණ්ඩ රජ තෙමේ කෝෂාරක්ෂක පියක අමාත්‍යයා ඇමතුවේය.

“එසේ වී නම් මිත්‍ර පියක ය, භද්‍රා දේවියගේ සිරුර දවව්. ඇයට ස්ථූපයක් ද කරව්. අද පටන් දැන් අපි නහන්නෙමු. සුවඳ විලවුන් ගල්වන්නෙමු. ආහාර අනුභව කරන්නෙමු. කර්මාන්තයන්හි ද යොදවන්නෙමු.”

සාදු! සාදු!! සාදු!!!

සෝකසල්ලහරණ සූත්‍රය නිමා විය.

පස්වෙනි මුණ්ඩරාජ වර්ගය අවසන් විය.

එහි පිළිවෙළ උද්දානය යි :

පඤ්චභෝග සූත්‍රය, සප්පුරිස සූත්‍රය, ඉට්ඨ සූත්‍රය, මනාපදායී සූත්‍රය, අභිසන්ද සූත්‍රය, සම්පදා සූත්‍රය, ධන සූත්‍රය, ඨාන සූත්‍රය, කෝසල සූත්‍රය සහ සෝකසල්ලහරණ සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

පළමු පණ්ණාසකය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M