එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපති හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ගෘහපතිය, භෝග සම්පත් වලින් ගත යුතු මේ ප්‍රයෝජන පසකි. ඒ කවර පසක් ද යත්;
1. ගෘහපතිය, මෙහිලා ආර්ය ශ්රාවකයා නැගී සිටි වීර්යයෙන් යුතු ව බාහු බල සවියෙන් යුතු ව, දහඩිය වගුරුවමින්, ධාර්මික ව උපයා සපයා ගත් භෝග සම්පත් වලින් තමා ත් සුවපත් කරයි. පිනවයි. නිවැරදි සැපයක් පරිහරණය කරයි. මව්පියනුත් සුවපත් කරයි. පිනවයි. නිවැරදි සැපයක් පරිහණය කරයි. අඹුදරුවන්, දාස කම්කරු පුරුෂයන් සුවපත් කරයි. පිනවයි. නිවැරදි සැපයක් පරිහණය කරයි. මෙය භෝග සම්පත් වලින් ගනු ලබන පළමුවෙනි ප්‍රයෝජනය යි.
2. තව ද ගෘහපතිය, මෙහිලා ආර්ය ශ්රාවකයා නැගී සිටි වීර්යයෙන් යුතු ව බාහු බල සවියෙන් යුතු ව, දහඩිය වගුරුවමින්, ධාර්මික ව උපයා සපයා ගත් භෝග සම්පත් වලින් යහළුමිත්‍රාදීන් සුවපත් කරයි. පිනවයි. නිවැරදි සැපයක් පරිහරණය කරයි. මෙය භෝග සම්පත් වලින් ගනු ලබන දෙවෙනි ප්‍රයෝජනය යි.
3. තව ද ගෘහපතිය, මෙහිලා ආර්ය ශ්රාවකයා නැගී සිටි වීර්යයෙන් යුතු ව බාහු බල සවියෙන් යුතු ව, දහඩිය වගුරුවමින්, ධාර්මික ව උපයා සපයා ගත් භෝග සම්පත් වලින් යම් මේ ආපදාවෝ වෙත් ද, එනම් ගින්නෙන් වේවා, ජලයෙන් වේවා, රජයෙන් වේවා, සොරුන්ගෙන් වේවා, තමා අකමැති අයට දායාද වශයෙන් වේවා, එබඳු වූ ආපදාවන්හි දී ඒ භෝග සම්පත් උවදුරු මැඬලාගෙන උපකාරී වෙයි. තමාගේ පැවැත්ම සුවපත් කරයි. මෙය භෝග සම්පත් වලින් ගනු ලබන තුන්වෙනි ප්‍රයෝජනය යි.
4. තව ද ගෘහපතිය, මෙහිලා ආර්ය ශ්රාවකයා නැගී සිටි වීර්යයෙන් යුතු ව බාහු බල සවියෙන් යුතු ව, දහඩිය වගුරුවමින්, ධාර්මික ව උපයා සපයා ගත් භෝග සම්පත් වලින් පස් වැදෑරුම් සත්කාර කරන්නේ වෙයි. ඥාතීන්ට කරන සත්කාරය, ආගන්තුක සත්කාරය, කලින් මියගිය අය වෙනුවෙන් කරන සත්කාරය, රජයට කරන සත්කාරය සහ දෙවියන්ට කරන සත්කාරය යි. මෙය භෝග සම්පත් වලින් ගනු ලබන සිව්වෙනි ප්‍රයෝජනය යි.
5. තව ද ගෘහපතිය, මෙහිලා ආර්ය ශ්රාවකයා නැගී සිටි වීර්යයෙන් යුතු ව බාහු බල සවියෙන් යුතු ව, දහඩිය වගුරුවමින්, ධාර්මික ව උපයා සපයා ගත් භෝග සම්පත් වලින් දානාදී පින්කම් කරයි. යම් ඒ ශ්‍රමණ බ්රාහ්මණවරු සිටිත් ද, මද ප්‍රමාදයෙන් බැහැර වූ ඉවසීමෙන් හා කීකරුකමින් යුතු වූ ඔවුහු කෙනෙක් තමා ව දමනය කරගනිති. කෙනෙක් තමා ව සංසිඳුවා ගනිති. කෙනෙක් තමා තුළ ම පිරිනිවී යති. එබඳු වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් උදෙසා ස්වර්ගයෙහි උපත සළසාලන, සැප විපාක ඇති, ස්වර්ගයෙහි උපතට හේතු වන දන් පැන් පුදන්නේ වෙයි. මෙය භෝග සම්පත් වලින් ගනු ලබන පස්වෙනි ප්‍රයෝජනය යි.
ගෘහපතිය, භෝග සම්පත් වලින් ගත යුතු ප්‍රයෝජන පස මේවා ය.
ගෘහපතිය, භෝගයන්ගෙන් මේ පස් වැදෑරුම් ප්‍රයෝජනය ගන්නා ඒ ආර්ය ශ්‍රාවකයාගේ භෝග සම්පත් ක්‍රමයෙන් අවසන් වෙයි නම් ඔහුට මෙසේ සිතෙයි. ‘ඒකාන්තයෙන් ම භෝග සම්පත්වලින් ගත යුතු යම් ප්රයෝජනයෝ වෙත් නම් මම ඒ ප්‍රයෝජන ගනිමි. මාගේ ඒ භෝගයන් අවසන් වන්නේ ප්‍රයෝජනවත් කරුණු වෙනුවෙන් ය’ කියා ය. මෙසේ ඔහු පසුතැවිලි රහිත වූවෙක් වෙයි. ගෘහපතිය, ඒ ආර්ය ශ්රාවකයා හට මේ පස් වැදෑරුම් භෝගයන්ගේ ප්‍රයෝජනය ගන්නා කල්හී භෝගයෝ වැඩිදියුණු වෙත් නම්, ඔහුට මෙසේ සිතෙයි. ‘ඒකාන්තයෙන් ම භෝග සම්පත්වලින් ගත යුතු යම් ප්රයෝජනයෝ වෙත් නම් මම ඒ ප්‍රයෝජන ගනිමි. මාගේ ඒ භෝගයෝ වෙසෙසින් වැඩිදියුණු වී යති’ කියා ය. මෙසේ ඔහු දෙපසින් ම පසුතැවිලි රහිත වූවෙක් වෙයි.”
(ගාථා)
1. මා විසින් භෝග සම්පත් අනුභව කරන ලදී. පෝෂණය කළ යුතු අය පෝෂණය කරන ලද්දාහ. ආපදාවන්හි දී පිළියම් කරන ලද්දේ ය. උඩු අතට ගමන් කරන පුණ්‍ය දක්ෂිණාවෝ දෙන ලද්දාහු ය. එමෙන් ම පස් වැදෑරුම් සත්කාරයෝ කරන ලද්දාහු ය. සිල්වත් වූ සංයත වූ බ්‍රහ්මචාරීන් වහන්සේලාට උපස්ථාන කරන ලද්දාහු ය.
2. ගිහි ගෙයි වාසය කරන නුවණැත්තෙක් යම් කරුණක් අරභයා භෝග සම්පත් ප්‍රාර්ථනා කරන්නේ නම් මවිසින් ඒ අර්ථය අත්පත් කරගන්නා ලද්දේ ය. නොපසුතැවෙන දේ කරන ලද්දේ ය.
3. මෙය සිහි කරන මනුෂ්‍ය තෙමේ ආර්ය ධර්මයෙහි පිහිටා සිටියේ වෙයි. නුවණැත්තෝ මෙහි දී ම ඔහුට ප්‍රශංසා කරති. මරණින් මතු ස්වර්ගයෙහි ඉපිද සතුටු වෙයි.
සාදු! සාදු!! සාදු!!!
පඤ්චභෝග ආදිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M