අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.4.4. සීහ සේනාපති සුත්තං

5.1.4.4. සීහ සේනාපතිට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හී සීහ සේනාපති භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් සීහ සේනාපති භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළේ ය.

“ස්වාමීනී, මේ ජීවිතයේ දී ම දානයෙන් ලැබෙන ඵල විපාක පණවන්නට හැකි සේක් ද?”

“පුළුවනි සීහයෙනි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“සීහයෙනි, දන් දෙන දානපති තෙමේ බොහෝ ජනයා හට ප්‍රිය වෙයි. මනාප වෙයි. සීහයෙනි, දන් දෙන දානපතියෙක් යම් හෙයකින් බොහෝ දෙනා හට ප්‍රිය වෙයි නම් මනාප වෙයි නම්, මෙය ත් මෙලොව දී ම දැක්ක හැකි දානයෙහි ඵලයකි.

තව ද සීහයෙනි, ශාන්ත වූ සත්පුරුෂයෝ දානපති දායකයා ව ඇසුරු කරති. සීහයෙනි, යම් හෙයකින් ශාන්ත වූ සත්පුරුෂයෝ දන් දෙන දානපතියෙකු ඇසුරු කරත් ද, මෙය ත් මෙලොව දී ම දැක්ක හැකි දානයෙහි ඵලයකි.

තව ද සීහයෙනි, දන් දෙන දානපතියාගේ කල්‍යාණ වූ කීර්ති ඝෝෂාව උස් ව පැන නගින්නේ වෙයි. සීහයෙනි, යම් හෙයකින් දන් දෙන දානපතියාගේ කල්‍යාණ වූ කීර්ති ඝෝෂාව උස් ව පැන නගින්නේ වෙයි ද, මෙය ත් මෙලොව දී ම දැක්ක හැකි දානයෙහි ඵලයකි.

තව ද සීහයෙනි, දන් දෙන දානපති තෙමේ යම් ම පිරිසක් කරා එළඹෙයි ද, ඔවුන් ක්ෂත්‍රීය පිරිසක් වෙන්නට පුළුවනි. බ්‍රාහ්මණ පිරිසක් වෙන්නට පුළුවනි. ගෘහපති පිරිසක් වෙන්නට පුළුවනි. ශ්‍රමණ පිරිසක් වෙන්නට පුළුවනි. හැකිලීමකින් තොර ව, විශාරද බවින් යුතු ව එහි එළඹෙන්නේ වෙයි. සීහයෙනි, යම් හෙයකින් දන් දෙන දානපති තෙමේ ක්ෂත්‍රීය පිරිසක් වෙත වේවා, බ්‍රාහ්මණ පිරිසක් වෙත වේවා, ගෘහපති පිරිසක් වෙත වේවා, ශ්‍රමණ පිරිසක් වෙත වේවා එළඹෙන්නේ නම් විශාරද ව තේජසින් යුතුව එළඹෙයි ද, මෙය ත් මෙලොව දී ම දැක්ක හැකි දානයෙහි ඵලයකි.

තව ද සීහයෙනි, දන් දෙන දානපති තෙමේ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේ වෙයි. සීහයෙනි, යම් හෙයකින් දන් දෙන දානපති තෙමේ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේ වෙයි ද, මෙය පරලොව දී ලැබෙන දානයෙහි ඵලය යි.”

මෙසේ වදාළ කල්හී සීහ සේනාපති භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙලොව දී දැක්ක හැකි යම් මේ සතරක් වූ දාන ඵල විපාකයෝ වදාරණ ලද්දාහු ද, එහිලා භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ පිළිබඳ ව හුදෙක් ශ්‍රද්ධාවෙන් ම නොගනිමි. මෙකරුණ මම ද දනිමි. ස්වාමීනී, මම දන්දෙන දානපතියෙක් වෙමි. බොහෝ ජනයාට ප්‍රිය මනාප කෙනෙකි. ස්වාමීනී, මම දන්දෙන දානපතියෙක් වෙමි. ශාන්ත සත්පුරුෂයෝ මාව ඇසුරු කරති. ස්වාමීනී, මම දන්දෙන දානපතියෙක් වෙමි. මා පිළිබඳ ව කල්‍යාණ වූ කීර්ති ඝෝෂාවක් උස් ව පැන නැගී ඇත. ‘සීහ සේනාපති තෙමේ දායකයෙකි. දන් පැන් කරවන්නෙකි. සංඝෝපස්ථායකයෙකි’ වශයෙනි. ස්වාමීනී, මම දන් දෙන දානපතියෙක් වෙමි. යම් ම පිරිසක් අතරට මම එළඹෙන්නෙම් නම් ඔවුන් ක්ෂත්‍රීය පිරිසක් වෙන්නට පුළුවනි. බ්‍රාහ්මණ පිරිසක් වෙන්නට පුළුවනි. ගෘහපති පිරිසක් වෙන්නට පුළුවනි. ශ්‍රමණ පිරිසක් වෙන්නට පුළුවනි. ඔවුන් අතර නොපැකිල ව, විශාරද ව එළඹෙමි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද මෙලොව දී දැක්ක හැකි යම් මේ සතරක් වූ දානඵලයෝ ඇද්ද, ඒවා මම හුදු ශ්‍රද්ධාවෙන් නොගනිමි. එකරුණ මම ද දනිමි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ යම් කරුණක් මට මෙසේ වදාළ සේක් ද, ‘සීහයෙනි, දන් දෙන දානපති තෙමේ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේ ය’ යනුවෙන්. මෙකරුණ මම නොදනිමි. මෙහිලා මම් වනාහී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් දනිමි.”

“සීහයෙනි, එය එසේ ම ය. සීහයෙනි, එය එසේ ම ය. දන් දෙන දානපති තෙමේ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේය.”

(ගාථා)

1. මසුරු බවින් තොර වූ මනුෂ්‍යයා දන් දෙන්නේ ප්‍රිය වෙයි. බොහෝ දෙනා ඔහු ඇසුරු කරති. කීර්තියට ද පැමිණෙයි. යස පිරිවර වැඩෙන්නේ ය. තේජස් සහිත ව ම පිරිස් මැදට යන්නේ ය. විශාරද වෙයි.

2. එහෙයින් සැප කැමති නුවණැත්තෝ මසුරු මල දුරු කොට දානාදී පින්කම් කරති. ඔවුහු දීර්ඝ කාලයක් දෙව්ලොව පිහිටියාහු දෙවියන් අතරට ගොස් සතුටු වෙති.

3. දෙව්ලොව වාසය පිණිස කරන ලද පින්කම් ඇති, කරන ලද කුසල් ඇති ඔවුහු එයින් චුත ව ස්වකීය ප්‍රභාවයෙන් බබලමින් නන්දන වනයෙහි සැරිසරති. ඔවුහු එහි සතුටු වෙති. සිත් අලවා වාසය කරති. පංච කාම ගුණයන් පිරිවරා සිටිති. තාදී ගුණ ඇති භාග්‍යවතුන් වහන්සේගේ වචනයට අනුව කටයුතු කොට සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙව්ලොවෙහි සතුටු වෙති.

සාදු! සාදු!! සාදු!!!

සීහසේනාපති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M