අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.4.2. චුන්දී සුත්තං

5.1.4.2. චුන්දී රාජකුමාරියට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හී චුන්දී රාජකුමාරිය රාජකුමාරිකාවන් පන්සියයක් රථ පන්සියයකින් පිරිවරන ලදු ව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තා ය. එකත්පස් ව හුන් චුන්දී රාජකුමාරිය භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළා ය.

“ස්වාමීනී, අපගේ සොහොයුරු වූ චුන්ද නම් රාජකුමාරයෙක් සිටියි. හේ මෙසේ කියයි. ‘යම් ඒ ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා බුදුරජුන් සරණ ගියේ වෙයි ද, ධර්මය සරණ ගියේ වෙයි ද, සංඝයා සරණ ගියේ වෙයි ද, සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි ද, සොරකමින් වැළකුණේ වෙයි ද, වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි ද, බොරු කීමෙන් වැළකුණේ වෙයි ද, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි ද, හේ කය බිඳී මරණින් මතු සුගතියෙහි ම උපදින්නේ ය. දුගතියෙහි නොවෙයි’ කියා ය.

ස්වාමීනී, ඒ මම් භාග්‍යවතුන් වහන්සේගෙන් අසමි. ස්වාමීනී, යමෙක් කය බිඳී මරණින් මතු සුගතියෙහි ම උපදින්නේ, දුගතියට නොයන්නේ කෙබඳු වූ ශාස්තෘන් වහන්සේ නමක් පිළිබඳව ප්‍රසාදයකින් යුක්ත වූවොත් ද?

ස්වාමීනී, ඒ මම් භාග්‍යවතුන් වහන්සේගෙන් අසමි. ස්වාමීනී, යමෙක් කය බිඳී මරණින් මතු සුගතියෙහි ම උපදින්නේ, දුගතියට නොයන්නේ කෙබඳු වූ ධර්මයක් පිළිබඳව ප්‍රසාදයකින් යුක්ත වූවොත් ද?

ස්වාමීනී, ඒ මම් භාග්‍යවතුන් වහන්සේගෙන් අසමි. ස්වාමීනී, යමෙක් කය බිඳී මරණින් මතු සුගතියෙහි ම උපදින්නේ, දුගතියට නොයන්නේ කෙබඳු වූ ශ්‍රාවක සඟ පිරිසක් පිළිබඳව ප්‍රසාදයකින් යුක්ත වූවොත් ද?

ස්වාමීනී, ඒ මම් භාග්‍යවතුන් වහන්සේගෙන් අසමි. ස්වාමීනී, යමෙක් කය බිඳී මරණින් මතු සුගතියෙහි ම උපදින්නේ, දුගතියට නොයන්නේ කෙබඳු වූ සිල්පදයන්හි පිරිපුන් කිරීමෙන් යුක්ත වූවොත් ද?”

“චුන්දියෙනි, යම්තාක් පා රහිත වූ හෝ, දෙපා ඇති හෝ, සිවුපා ඇති හෝ, බොහෝ පා ඇති හෝ, රූපවත් වූ හෝ, අරූපවත් වූ හෝ සංඥාවත් වූ හෝ, සංඥා රහිත වූ හෝ නේවසංඥානාසංඥායතන වූ හෝ සත්වයෝ සිටිත් ද තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ සකල සත්ව වර්ගයා අතර අග්‍ර යැයි කියනු ලැබේ. චුන්දියෙනි, යමෙක් බුදුරජුන් කෙරෙහි සිත පහදවා ගත්තාහු ද, ඔවුන් පැහැදුණේ අග්‍ර වූ ස්ථානයෙහි ය. අග්‍ර ස්ථානයෙහි පැහැදුනවුන්ගේ විපාකය ද අග්‍ර වන්නේ ය.

චුන්දියෙනි, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ ත්, හට නොගත්තා වූ ත් යම්තාක් දේ ඇද්ද, ඒ සියල්ලට ම වඩා අග්‍ර වන්නේ නිර්වාණය යි. යම් මේ කෙලෙස් මද මඩින, කෙලෙස් පිපාසය සංසිඳුවන, තෘෂ්ණාව මුලින් ම නසන, සසර ගමන නැති කරන, තණ්හාව ක්ෂය වන, විරාගී වූ, තෘෂ්ණා නිරෝධයෙන් ලැබෙන යම් නිවනක් ඇද්ද එය යි. චුන්දියෙනි, යමෙක් ඒ විරාගී වූ ධර්මය කෙරෙහි පැහැදුනාහු වෙත් ද, ඔවුනගේ ඒ පැහැදීම අග්‍ර වූ දෙයක් කෙරෙහි ය. අග්‍ර ස්ථානයෙහි පැහැදුනවුන්ගේ විපාකය ද අග්‍ර වෙයි.

චුන්දියෙනි, යම්තාක් පිරිස් හෝ සමූහයන් හෝ සිටිත් ද, ඔවුන් සියල්ලන්ට ම වඩා අග්‍ර වන්නේ තථාගත ශ්‍රාවක සංඝයා ය. යම් මේ පුරුෂ යුගල සතරකින් යුක්ත වූ පුරුෂ පුද්ගල අටකින් යුක්ත වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආහුණෙය්ය, පාහුණෙය්ය, දක්ඛිණෙය්ය, අංජලිකරණීය, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස යන ගුණයෙන් යුතු වෙයි ද ඒ සංඝයා ය. චුන්දියෙනි, යමෙක් ආර්ය සංඝයා කෙරෙහි සිත පහදවා ගත්තාහු ද, ඔවුහු අග්‍ර වූ පිරිස කෙරෙහි පැහැදුණාහු ය. අග්‍ර ස්ථානයෙහි පැහැදුනවුන්ගේ විපාකය ද අග්‍ර ය.

චුන්දියෙනි, යම්තාක් සිල් ඇත්නම්, ආර්යකාන්ත සීලය ඒ සියළු සිල්වලට වඩා අග්‍ර යැයි කියනු ලැබේ. එනම් නොකැඩුණු, සිදුරු නැති, කැලැල් නැති, පැල්ලම් නැති, තෘෂ්ණා දාස භාවයෙන් තොර වූ, නුවණැත්තන්ගේ ප්‍රසාදයට ලක් වන, තෘෂ්ණා දෘෂ්ටීන් ස්පර්ශ නොකළ, සමාධිය පිණිස පවතින සීලය යි. චුන්දියෙනි, යමෙක් ආර්යකාන්ත සීලෙයෙහි පරිපූරකාරී වෙත් ද, ඔවුහු අග්‍ර වූ සිල් පුරන්නෝ ය. අග්‍ර වූ සිල් පුරන්නවුන්ගේ විපාකය ද අග්‍ර ය.”

(ගාථා)

1. ඒකාන්තයෙන් අග්‍ර වූ පැහැදීමට අයත් අග්‍ර වූ ධර්මය අවබෝධ කොට වදාළ අනුත්තර වූ, දන් පිළිගැනීමෙහි සුදුසු වූ අග්‍ර වූ බුදුරජුන් කෙරෙහි පැහැදුණු සිත් ඇති තැනැත්තාට,

2. විරාගී වූ කෙලෙස් සංසිඳවාලන සැපය ඇත්තා වූ අග්‍ර ධර්මයෙහි සිත පහදවාගත් තැනැත්තාට, අනුත්තර පින් කෙත වූ ආර්ය සංඝයා කෙරෙහි සිත පහදවා ගත් තැනැත්තාට,

3. ඒ අග්‍ර වූ උතුමන් කෙරෙහි දෙන දානය ද අග්‍ර පින් ලබා දෙන්නේ වෙයි. අග්‍ර වශයෙන් ආයු, වර්ණ, සැප, යස, කීර්ති, බල ලබා දෙයි.

4. අග්‍ර වූ ධර්මයෙන් යුක්ත අග්‍ර වූ ශ්‍රාවක සංඝයා විෂයෙහි යම් නුවණැත්තෙක් දානාදිය පූජා කරයි ද, හේ දෙව් බවට හෝ මිනිස් බවට හෝ පැමිණි විට අග්‍ර බවට පත් ව සතුටු වෙයි.

සාදු! සාදු!! සාදු!!!

චුන්දී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M