අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.4.1. සුමනා සුත්තං

5.1.4.1. සුමනා රාජකුමාරියට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී සුමනා රාජකුමාරිය රාජකුමාරිකාවන් පන්සියයක් සමග රථ පන්සියයකින් පිරිවරන ලදුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තා ය. එකත්පස්ව හුන් සුමනා රාජකුමාරිය භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළා ය.

“භාග්‍යවතුන් වහන්ස, මෙකරුණෙහිලා ශ්‍රාවකයෝ දෙදෙනෙක් සිටිති. ඔවුහු ශ්‍රද්ධාවෙන් සම වූවෝ ය. සීලයෙන් සම වූවෝ ය. ප්‍රඥාවෙන් සම වූවෝ ය. එනමුදු එයින් එක්කෙනෙක් දන් දෙයි. අනිත් කෙනා දන් නොදෙයි. ඔවුහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නාහු නම්, ස්වාමීනී, දෙවියන් බවට පත් වූ ඔවුන්ගේ විශේෂයක් පෙනෙයි ද? වෙනස් වූ බවක් පෙනෙයි ද?”

“සුමනාවෙනි, වෙනසක් තිබෙන්නේ යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“සුමනාවෙනි, යම් ඒ දන් දුන් අයෙක් වෙයි ද, හේ දෙවි වූයේ අර දන් නොදුන් තැනැත්තාට වඩා පස් කරුණකින් ඉදිරියෙන් සිටින්නේ වෙයි. එනම් දිව්‍ය ආයුෂයෙන් ය, දිව්‍ය පැහැයෙන් ය, දිව්‍ය සැපයෙන් ය, දිව්‍ය පරිවාර සම්පත්තියෙන් ය, දිව්‍ය අධිපතිභාවයෙන් ය. සුමනාවෙනි, යම් ඒ දන් දුන් කෙනෙක් වෙයි ද, හේ දෙවි වූයේ අර දන් නොදුන් තැනැත්තාට වඩා මේ පස් කරුණෙන් ඉදිරියෙන් සිටින්නේ වෙයි.”

“ඉදින් ස්වාමීනී, ඔවුහු එයින් චුත ව යළි මෙලොවට එත් නම්, ස්වාමීනී, මිනිස් ලොව උපන් ඔවුන්ගේ විශේෂයක් පෙනෙයි ද? වෙනස් වූ බවක් පෙනෙයි ද?”

“සුමනාවෙනි, වෙනසක් තිබෙන්නේ යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“සුමනාවෙනි, යම් ඒ දන් දුන් කෙනෙක් වෙයි ද, හේ මිනිසෙක් වූයේ අර දන් නොදුන් තැනැත්තාට වඩා පස් කරුණකින් ඉදිරියෙන් සිටින්නේ වෙයි. එනම් මානුෂික ආයුෂයෙන් ය, මානුෂික පැහැයෙන් ය, මානුෂික සැපයෙන් ය, මානුෂික පරිවාර සම්පත්තියෙන් ය, මානුෂික අධිපතිභාවයෙන් ය. සුමනාවෙනි, යම් ඒ දන් දුන් කෙනෙක් වෙයි ද, හේ මිනිසෙක් වූයේ අර දන් නොදුන් තැනැත්තාට වඩා මේ පස් කරුණෙන් ඉදිරියෙන් සිටින්නේ වෙයි.”

“ඉදින් ස්වාමීනී, ඔවුන් දෙදෙනා ගිහි ගෙයින් නික්ම අනගාරික ව බුදු සසුනෙහි පැවිදි වෙත් නම්, ස්වාමීනී, පැවිදි වූ ඔවුන්ගේ ද විශේෂයක් පෙනෙයි ද? වෙනස් වූ බවක් පෙනෙයි ද?”

“සුමනාවෙනි, වෙනසක් තිබෙන්නේ යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“සුමනාවෙනි, යම් ඒ දන් දුන් කෙනෙක් වෙයි ද, හේ පැවිද්දෙක් වූයේ අර දන් නොදුන් තැනැත්තාට වඩා පස් කරුණකින් ඉදිරියෙන් සිටින්නේ වෙයි. එනම් අනුන් විසින් අයැද සිටින්නේ ම බොහෝ සිවුරු පරිභෝග කරයි. අයැද නොසිටින්නේ නම් අල්ප වශයෙනි. අනුන් විසින් අයැද සිටින්නේ ම බොහෝ පිණ්ඩපාතය පරිභෝග කරයි. අයැද නොසිටින්නේ නම් අල්ප වශයෙනි. අනුන් විසින් අයැද සිටින්නේ ම බොහෝ කුටි සෙනසුන් පරිභෝග කරයි. අයැද නොසිටින්නේ නම් අල්ප වශයෙනි. අනුන් විසින් අයැද සිටින්නේ ම බොහෝ ගිලන්පස බෙහෙත් පිරිකර පරිභෝග කරයි. අයැද නොසිටින්නේ නම් අල්ප වශයෙනි. යම් සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ වාසය කරයි නම්, ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ද ඔහුට මනාප වූ කාය කර්මයෙන් බහුල වශයෙන් හැසිරෙති. අමනාප වූ දෙයින් අල්ප වශයෙනි. මනාප වූ වචී කර්මයෙන් බහුල වශයෙන් හැසිරෙති. අමනාප වූ දෙයින් අල්ප වශයෙනි. මනාප වූ මනෝ කර්මයෙන් බහුල වශයෙන් හැසිරෙති. අමනාප වූ දෙයින් අල්ප වශයෙනි. මනාප වූ ම ගෞරවාදර දක්වති. අමනාප වූ දෙයින් අල්ප වශයෙනි. සුමනාවෙනි, යම් ඒ දන් දුන් කෙනෙක් වෙයි ද, හේ පැවිද්දෙක් වූයේ අර දන් නොදුන් තැනැත්තාට වඩා මේ පස් කරුණෙන් ඉදිරියෙන් සිටින්නේ වෙයි.”

“ඉදින් ස්වාමීනී, ඒ පැවිද්දන් දෙදෙනා අරහත්වයට පැමිණෙත් නම්, අරහත්වයට පත් වූ උන්වහන්සේලාගේ විශේෂයක් පෙනෙයි ද? වෙනස් වූ බවක් පෙනෙයි ද?”

“සුමනාවෙනි, මෙකරුණෙහිලා නම් මම් ඔවුන්ගේ කිසිදු වෙනසක් නොපවසමි. එනම් තවත් කෙනෙකුගේ විමුක්තියක් හා අනෙකෙකුගේ විමුක්තියක් හා ය.”

“ස්වාමීනී, ආශ්චර්ය යි ! ස්වාමීනී, අද්භූත යි ! ස්වාමීනී, දන් දීම කළ යුතු දෙයක් ම ය. පින් කිරීම කළ යුතු දෙයක් ම ය. දෙව්ලොව උපන්නහුට ද උපකාර වන දෙය පින් ම ය. මනුලොව උපන්නහුට ද උපකාර වන දෙය පින් ම ය. පැවිද්දන් හට ද උපකාර වන දෙය පින් ම ය.”

“සුමනාවෙනි, එය එසේ ම ය. සුමනාවෙනි, එය එසේ ම ය. දන් දීම කළ යුතු දෙයක් ම ය. පින් කිරීම කළ යුතු දෙයක් ම ය. දෙව්ලොව උපන්නහුට ද උපකාර වන දෙය පින් ම ය. මනුලොව උපන්නහුට ද උපකාර වන දෙය පින් ම ය. පැවිද්දන් හට ද උපකාර වන දෙය පින් ම ය.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මේ ගාථාවන් ද වදාළ සේක.

(ගාථා)

1. නිමල සඳමඬල අහසින් යන්නේ සියළු තරු සමූහය සිය එළියෙන් මඬිමින් රැස් විහිදුවන්නේ යම් සේ ද,

2. එසෙයින් ම සීල සම්පන්න වූ, ශ්‍රද්ධාවත් පුරුෂ පුද්ගලයා ලෝකයෙහි සියළු මසුරු පුද්ගලයන් මැඩගෙන ත්‍යාගයෙන් බබලන්නේ වෙයි.

3. විදුලිය නැමැති මාලාවන්ගෙන් යුක්ත සිය ගණන් වළාකුළු ඇති අහස ගොරවමින් වසිනා වැස්ස පොළොවේ වළ ගොඩැලි නිම්න පුරවමින් යන්නේ යම් සේ ද,

4. මෙසේ චතුරාර්ය සත්‍ය දර්ශනයෙන් යුක්ත වූ සම්මා සම්බුදු රජුන්ගේ ශ්‍රාවක තෙමේ පස් කරුණෙකින් මසුරු තැනැත්තා අභිබවා පෙරට යන්නේ වෙයි.

5. ආයුෂයෙන්, පිරිවරෙන්, වර්ණයෙන් හා සැපයෙන් ය. ඉදින් භෝගයෙන් පිරිවරා සිටින්නේ පරලොව ගොස් සුගතියෙහි සතුටු වෙයි.

සාදු! සාදු!! සාදු!!!

සුමනා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M