අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

5.1.2.10. අත්තහිත – පරහිත සුත්තං

5.1.2.10. තමාගේ ත්, අන්‍යයන්ගේ ත් යහපත ගැන වදාළ දෙසුම

මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ භික්ෂුව තමන්ගේ යහපත පිණිස පිළිපන්නේ ද වෙයි. අන්‍යයන්ගේ යහපත පිණිස පිළිපන්නේ ද වෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව තමා ත් සිල්වත් වූයේ වෙයි. අන් අය ත් සීල සම්පත්තියෙහි සමාදන් කරවයි. තමා ත් සමාධි සම්පන්න වූයේ වෙයි. අන් අය ත් සමාධි සම්පත්තියෙහි සමාදන් කරවයි. තමා ත් ප්‍රඥා සම්පන්න වූයේ වෙයි. අන් අය ත් ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් කරවයි. තමා ත් විමුක්ති සම්පන්න වූයේ වෙයි. අන් අය ත් විමුක්ති සම්පත්තියෙහි සමාදන් කරවයි. තමා ත් විමුක්ති ඥානදර්ශන සම්පන්න වූයේ වෙයි. අන් අය ත් විමුක්ති ඥානදර්ශන සම්පත්තියෙහි සමාදන් කරවයි.

මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ භික්ෂුව තමන්ගේ යහපත පිණිස පිළිපන්නේ ද වෙයි. අන්‍යයන්ගේ යහපත පිණිස පිළිපන්නේ ද වෙයි.

සාදු! සාදු!! සාදු!!!

අත්තහිත – පරහිත සූත්‍රය නිමා විය.

දෙවෙනි බල වර්ගය අවසන් විය.

එහි පිළිවෙළ උද්දානය යි :

අනනුස්සුත සූත්‍රය, කූට සූත්‍රය, සංඛිත්ත සූත්‍රය, විත්ථත සූත්‍රය, දට්ඨබ්බ සූත්‍රය, පුන කූට සූත්‍රය සහ හිත සූත්‍ර සතරක් වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-1-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M