අංගුත්තර නිකාය

චතුක්ක නිපාතෝ

4.6.10. සාවජ්ජ – අනවජ්ජ සුත්තං

4.6.10. වැරදි – නිවැරදි ගැන වදාළ දෙසුම

මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා සාරා ගත් ගුණ ඇති ව, වනසා ගත් ජීවිතයක් පරිහරණය කරයි. දොස් සහිත ද වෙයි. නුවණැත්තන්ගෙන් උපවාද ලැබිය යුතු කෙනෙක් වෙයි. බොහෝ පව් ද රැස් කරයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

වැරදි කාය කර්මයෙන් ය. වැරදි වචී කර්මයෙන් ය. වැරදි මනෝ කර්මයෙන් ය. වැරදි දෘෂ්ටියෙන් ය.

මහණෙනි, මේ සතර කරුණෙන් යුක්ත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂයා සාරා ගත් ගුණ ඇති ව, වනසා ගත් ජීවිතයක් පරිහරණය කරයි. දොස් සහිත ද වෙයි. නුවණැත්තන්ගෙන් උපවාද ලැබිය යුතු කෙනෙක් වෙයි. බොහෝ පව් ද රැස් කරයි.

මහණෙනි, මේ සතර කරුණකින් යුක්ත වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂයා සාරා නොගත් ගුණ ඇති ව, වනසා නොගත් ජීවිතයක් පරිහරණය කරයි. දොස් රහිත ද වෙයි. නුවණැත්තන්ගෙන් උපවාද නොලැබිය යුතු කෙනෙක් වෙයි. බොහෝ පින් ද රැස් කරයි. ඒ කවර සතර කරුණකින් ද යත්;

නිවැරදි කාය කර්මයෙන් ය. නිවැරදි වචී කර්මයෙන් ය. නිවැරදි මනෝ කර්මයෙන් ය. නිවැරදි දෘෂ්ටියෙන් ය.

මහණෙනි, මේ සතර කරුණෙන් යුක්ත වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂයා සාරා නොගත් ගුණ ඇති ව, වනසා නොගත් ජීවිතයක් පරිහරණය කරයි. දොස් රහිත ද වෙයි. නුවණැත්තන්ගෙන් උපවාද නොලැබිය යුතු කෙනෙක් වෙයි. බොහෝ පින් ද රැස් කරයි.

සාදු! සාදු!! සාදු!!!

සාවජ්ජ – අනවජ්ජ සූත්‍රය නිමා විය.

හයවෙනි අභිඤ්ඤා වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

අභිඤ්ඤා සූත්‍රය, පරියේසනා සූත්‍රය, සංගහ සූත්‍රය, මාලුංක්‍යපුත්ත සූත්‍රය, කුල සූත්‍රය, ආජනීය සූත්‍ර දෙක, බල සූත්‍රය, අරඤ්ඤ සූත්‍රය සහ කම්ම වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an2_4-6-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M